අංගුත්තර නිකාය
දුක නිපාතය
පළමුවෙනි පණ්ණාසකය
2. දෙවෙනි පණස
10. බාල වර්ගය
අනාගතභාර සූත්‍රය:—1. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් (තමා වෙත) නොපැමිණි බර උසුලයිද, යමෙක් (තමා වෙත) පැමිණි බර නොඋසුලයිද යන දෙදෙනයි.
2. “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
(මේ වර්ගයේ 3, 5, 7, 9 සූත්‍රවල 2 ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 2 ඡෙදය මෙන් වෙත්)
ආගතභාර සූත්‍රය:—1. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් (තමා වෙත) පැමිණියාවූ බර උසුලයිද, යමෙක් (තමාවෙත) නොපැමිණියාවූ බර නොඋසුලයිද (යන දෙදෙනයි.)
2. “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.
(මේ වර්ගයේ 4, 6, 8, 10 සූත්‍රවල 2 ඡෙද මේ වර්ගයේ 2 සූත්‍රයේ 2 ඡෙදය මෙන් වෙත්)
අකප්පිය සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් අකැප වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද, යමෙක් කැප වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි)
කප්පිය සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් අකැප
වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද, යමෙක් කැප වස්තුවෙහි කැපය යන හැඟීම ඇත්තේද යන දෙදෙනයි.
අනාපත්ති සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත් කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ඇවැත් (වැරදි) නොවූ දෙයෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත් නොවේය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි)
ආපත්ති සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත් කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ඇවැත් නොවූ දෙයෙහි ඇවැත් නොවේය යන හැඟීම ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත්ය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි)
අධම්ම සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් අධර්මයෙහි ධර්මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්මයෙහි අධර්මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි)
ධම්ම සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් අධර්මයෙහි අධර්මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්මයෙහි ධර්මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
අවිනය සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් විනය නොවූවෙහි විනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූවෙහි අවිනය යන සංඥා ඇත්තේද, (යන දෙදෙනයි.)
විනය සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් විනය නොවූ දෙයෙහි අවිනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
කුක්කුච්ච සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන්ට ක්ලේශයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් කුකුස්
නොකටයුත්තෙහි කුකුස් කෙරේද, යමෙක් කුකුස් කටයුත්තෙහි කුකුස් නොකෙරේද (යන දෙදෙනාටයි)
2. “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.
(මේ වර්ගයේ 13, 15, 17, 19 සූත්‍රවල 2 ඡෙද මේ සූත්‍රයේ 2 ඡෙදය මෙන් වෙත්.)
නකුක්කුච්ච සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන් හට ක්ලේශයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් කුකුස් නොකටයුත්තෙහි කුකුස් නොකරයිද, යමෙක් කුකුස් කටයුත්තෙහි කුකුස් කරයිද යන දෙදෙනාටයි
2. “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.
(මේ වර්ගයේ 14, 16, 18, 20 සූත්‍රවල 2 ඡෙද මේ සූත්‍රයේ 2 ඡෙදය මෙන් වෙත්.)
කප්පිය සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් කැප නොවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේවේද යමෙක් කැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි)
අකප්පිය සඤ්ඤී සූත්‍රය-“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් අකැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි)
ආපත්ති සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්, යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද යමෙක් ඇවැත් වූවෙහි ඇවැත් නැත යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි)
අනාපත්ති සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්. යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත් නැත යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත්වූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි)
ධම්ම සඤ්ඤී සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන් හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත් යමෙක් අධර්ම වූවෙහි ධර්මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්ම වූවෙහි අධර්මය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)
අධම්ම සඤ්ඤී සූත්‍රය-“මහණෙනි, දෙදෙනෙකුන් හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් අධර්මවූවෙහි අධර්මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්ම වූවෙහි ධර්මය යන සංඥා ඇත්තේ වේද යන දෙදෙනාටයි.
විනය සඤ්ඤී සූත්‍රය-“මහණෙනි, දෙදෙනෙකුන් හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් විනය නොවූවෙහි විනය යන සංඥා ඇත්තේ වේද, යමෙක් විනය වූවෙහි විනය නොවේ යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි)
අවිනය සඤ්ඤී සූත්‍රය-“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්, යමෙක් විනය නොවූවෙහි විනය නොවේ යන සංඥා ඇත්තේ වේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)”
(පස්වෙනි බාල වර්ගය නිමි)
(දෙවෙනි පණ්ණාසකය සමාප්තයි)