අංගුත්තර නිකාය

එක නිපාතය

14. යොධාජීව වර්ගය

136. ධම්ම නියාමතා සූත්‍රය

“මහණෙනි, තථාගතයන් උපන්කල හෝ නූපන්කල හෝ සියලු සංස්කාරයෝ අනිත්‍යහ යන ධර්මස්වභාවය ධර්මනියාමය ඇත්තේමය.

“ඒ ස්වභාවය තථාගත තෙම අවබොධ කරයි, ප්‍රතිවෙධ කරයි. අවබොධකොට ප්‍රතිවෙධකොට සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යහයි ප්‍රකාශකරයි, දෙශනාකරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.

“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන්කල හෝ නූපන්කල හෝ සියලු සංස්කාරයෝ දුකය යන මේ ධර්මස්වභාවය ධර්මනියාමය ඇත්තේය.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)

“මහණෙනි, තථාගතයන් උපන්කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ අනාත්මයහ යන ධර්මස්වභාවය ධර්මනියාමය ඇත්තේමය.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)