අංගුත්තර නිකාය

එක නිපාතය

3. පුග්ගල වර්ගය

29. අන්ධෙක චක්ඛු සූත්‍රය

“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොකයෙහි ඇත. විද්‍යමානවෙත්. කවර තුන්දෙනෙක්ද යත්, අන්ධ පුද්ගලයාය, එක ඇසක් ඇති පුද්ගලයාය, දෑසම ඇති පුද්ගලයාය යන තුන්දෙනයි.

“මහණෙනි, අන්ධ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද්දාවූ හෝ භොගය ලබන්නේද ලබන ලද හෝ භොගය වැඩිදියුණු කරන්නේද, එබඳුවූ ඇසක් නොවේද, යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්මයන් දන්නේද දොස් නිදොස් ධර්මයන් දන්නේද, උස් පහත් ධර්ම දන්නේද කුශලාකුශල ධර්මයන්ට සමාන කොටස් ඇති ධර්මයන් දන්නේද, එබඳුවූ ඇසක්ද ඕහට නොවේද, මහණෙනි, මේ අන්ධ පුද්ගලයායයි කියනු ලැබේ.

“මහණෙනි, එක් ඇසක් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද්දාවූ භොගය ලබන්නේද ලබන ලද හෝ භොගය වැඩිදියුණු කරන්නේද, එබඳු ඇසක් ඇත්තේය. යම්බඳුවූ ඇසකින් කුශලා කුශල ධර්මයන් දන්නේද, වරද නිවරද ධර්මයන් දන්නේද, උස් පහත් ධර්මයන් දන්නේද කුශලා කුශල ධර්මයන්ට සමාන කොටස් ඇති ධර්මයන් දන්නේද, ඔහුට එබඳු ඇස නැත්තේද, මහණෙනි, මේ එක් ඇසක් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.

“මහණෙනි, ඇස් දෙකම ඇති පුද්ගලයා කවරේද? මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද් වස්තු ලබන්නේද ලත් වස්තු වැඩිදියුණු කරන්නේද, එබඳුවූ ඇසද ඇත්තේ වේද, යම්බඳුවූ ඇසකින් කුශලා කුශල ධර්මයන් දන්නේද, වරද නිවරද ධර්මයන් දන්නේද, උස් පහත් ධර්මයන් දන්නේද කුශලා කුශල ධර්මයන්ට සමාන කොටස් ඇති ධර්මයන් දන්නේද, එබඳු ඇසද ඇත්තේ වේද, මහණෙනි, මේ ඇස් දෙකම ඇති පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලොකයෙහි ඇත්තාහ විද්‍යමාන වෙත්.”

(1) “එබඳුවූ (එතරම්) වස්තුවක් නැත්තේද පින්ද නොකෙරේද, නැසුණාවූ ඇස් ඇති අන්ධයාහට මෙලොව පරලොව දෙක්හිම පරාජය ඇතිවෙයි.

(2) “නැවත එක් ඇසක් ඇති පුද්ගලයා කියන ලද්දේ වෙයි. (හෙතෙම) ධර්මයෙන්ද අධර්මයෙන්ද මිශ්‍රව වස්තුව සපයයි.

(3) (කෙසේද) කම්සැප විඳින මිනිස්තෙමේ සොරකමින්ද කපටිකමින්ද බොරු කීමෙන්ද සොරකමින්ද යන දෙකින් වස්තුව රැස්කිරීමට දක්ෂයෙක්වේ. ඒ එකැස් ඇත්තාවූ පුරුෂතෙම මෙයින් නරකයට ගොස් වැනසේ.

(4) ඇස් දෙකම ඇති පුද්ගලයා ශ්‍රෙෂ්ඨවූ පුරුෂ පුද්ගලයායි කියනු ලැබේද, උතුම් අදහස් ඇත්තාවූ සැක නොකටයුතු සිත් ඇත්තාවූ ඒ මනුෂ්‍යතෙම වීර්‍ය්‍යයෙන් ධර්මයෙන් ලැබූ ධනය දෙයි. යම් තැනෙකට පැමිණ ශෝක නොකෙරේ, නම් ඒ උතුම් ස්ථානයට පැමිණ ශොක නොකෙරෙයි.

(5) අන්ධයාද එකැස් ඇත්තාද දුරින්දුරු කරන්නේය. ශ්‍රෙෂ්ඨපුරුෂ පුද්ගලවූ ඇස් දෙකම ඇති පුද්ගලයා සේවනය කරන්නේයයි වදාළේය.