අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(24) 4. ආවාසික වර්‍ගය
2. පිය මනාපාවාසික සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්? සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුත වූයේ ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තෙක් වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අර්ත්‍ථය හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, උතුම් සිතෙහි හටගන්නාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ, චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරේද යන පසිනි.’’
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.