ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
10. පදුම බුදුරදුන්ගේ වංශය
අනොමදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සත්ත්‍වයන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ (ගුණයෙන්) අසමවූ, තමාට සමාන පුද්ගලයෙක් නැති, නම්න් ’’පදුම’’ නම් සම්බුදු රජ තෙම වී.
උන්වහන්සේගේද ශීලය අසමය. සමාධියත් කෙළවරක් නැත. උතුම් සර්‍වඥතාඥානය (නොහොත්) ෂට් අසාධාරණ ඥානයද අසංඛ්‍යය. (නොගිණිය හැක.) විමුක්තියද උපමා රහිතය.
අසම තෙද ඇති, ඒ පදුම බුදුරජහුගේ දම්සක් පැවැත්මෙහි මහත් මොහඳුර දුරු කරණ ධර්‍මාවබෝධ තුණක් වූහ.
සම්බුදුරජතෙම පළමුවන ධර්‍මාවබෝධයෙහිදී කෝටි සියයක් දෙනාට සිවුසස් අවබෝධ කරවී. නුවණ ඇති බුදුරජහු දෙවන ධර්‍මාවබෝධයෙහි අනූකෝටියක් දෙනාට ධර්‍මාවබෝධය කරවූ සේක.
යම් කාලයෙක පදුම බුදුරජතෙම සිය පුතුට අවවාද කළ සේක්ද, ඒ කාලයෙහි අසූ කෝටියක් දෙනාට තුන්වන ධර්‍මාවබෝධය වී.
මහර්ෂීවූ ’’පදුම’’ බුදුරදුන්ට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. කෝටි ලක්‍ෂයක් (රහතුන්ගේ) දෙනාගේ පළමුවන රැස්වීම විය.
කඨින සිවුරු අතුරණ කාලයෙක කඨින සිව්රක් ලැබුණු කල්හි දම් සෙනෙවි ’’සාල’’ තෙරුන් පිණිස භික්‍ෂූහු කඨින සිව්ර මැසුවාහුද,
ඒ කාලයෙහි කෙලෙස් සතුරන් විසින් නොපරදවන ලද, මහත් ඎද්‍ධි ඇති, ෂට් අභිඥාලාභී, කෙලෙස් කිලුටු නැති ඒ භික්‍ෂූහු තුන් ලක්‍ෂයක් රැස්වූහ. (මේ දෙවන රැස්වීමය.)
නවතද ඒ පදුම බුදුරජතෙම මහා වනයෙහි වස් විසීමට එළඹි සේක්, ඒ කාලයෙහි දෙලක්‍ෂයක් (රහතුන්ගේ) සමාගමය වී. (මේ තුන්වන රැස්වීමය.)
’’මම ඒ කාලයෙහි සිවුපාවුන් වනසනසුළු සිංහරාජයෙක් වීමි. (එකල) වනයෙහි ච්ත්ත විවේකය වඩන (සමවතට සමවන්) ජිනරාජයන් වහන්සේ දුටුයෙමි.
(ඒ පදුම බුදුරදුන් දැක) හිසින් සිරිපාදයන් වැඳ පැදකුණු කොට, තෙවිටක් සිංහනාද කොට, සත් දිනක් මුළුල්ලේ ජිනරාජයන් වහන්සේට උපස්ථාන කෙළෙමි. (දිවිපුදා වෙත සිටියෙමි.)
(පදුම) තථාගතතෙම සත්දිනක් මුළුල්ලෙහි කළ උතුම් සමවතින් නැගිට, සිතින් සිතා (හෙවත් ඉටා) කෝටියක් භික්‍ෂූහු කැඳවී.
ඒ කාලයෙහිද මහාවීරවූ ඒ පදුම බුදුරජතෙම ඒ භික්‍ෂූන් මැද, ’’මේ සිංහතෙම මෙයින් අපමණ කපෙහි බුදුවන්නේය’’ යි ප්‍රකාශයක් කල සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.
මහර්ෂීවූ පදුම බුදුරදුන්ගේ (උපන්) නුවර ’’චම්පක’’ නම් වී. (පියතෙම) ’’අසම’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අසමා’’ නම් වූවාය.
ඒ බුදුවරතෙම අවුරුදු අසූ දහසක් (බුදුවීමට පෙර) ගිහිගෙයි විසීය. ’’නන්දා’’ ය, ’’සූඝසා’’ ය, ’’උත්තරා’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස්තුන් ලෂක්‍යකි. ප්‍රසිද්‍ධවූ ඒ බිරින්ද ’’උත්තරා’’ නම් වූවාය. පුත් තෙම ’’රම්ම’’ නම් වී.
(පදුම) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රිය යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ (බුදුවී පිණිස) ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ පදුම නම් ලොනාහිමි තෙමේ බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.
මහර්ෂීවූ පදුම බුදුරදුන්ට සාලද, උපසාලද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ වරුණා නම් වීය.
’’රාධා’’ ද, ’’සුරාධා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.
’’භිය්‍ය’’ ද, ’’අසම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රුචි’’ ද, ’’නන්‍දරාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
(පදුම) මහාමුනිඳුතෙම පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ අසමවූ ශරීර කාන්තිය සැම ලෙසින්ම දිසාවන්හි නිතර පැතිරෙයි.
සඳරැස, හිරුරැස, රුවන්රැස, ගිනිරැස, මිණිරැස යන ඒ සියලු කාන්තීහු (පදුම) ජිනරාජයන්ගේ ශරීර කාන්තිය උතුම්කොට පැමිණ නැසුනාහු වෙත්.
ඒ කලෙයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ (පදුම) බුදුරජහු ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.
මේරූ ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන් ඇති, විනෙය (හික්මවිය හැකි) ජනයන්ට ඉතුරු නොකොට සිවුසස් අවබෝධ කරවා සෙසු සත්ත්‍වයන්ට අනුශාසනාකොට ශ්‍රාවකයන් සහිතවූ ඒ (පදුම) බුදුරජතෙමේ පිරිනිවි සේක.
නාගතෙමේ දිරාගිය සැවය (ඉවත් කරන්නාක්) මෙන්ද, ගස පරණලා (ඉවත දමන්නාක්) මෙන්ද, සියලු සංස්කාරයන් හැරපියා, ගින්න යම්සේ නිවියයිද, (එසේ) උන්වහන්සේ පිරිනිවි සේක.
ශාස්තෘවූ පදුම ජිනවරතෙම ධර්‍මාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරවීම වී.
පදුමස්ස භගවතො වංසො අට්ඨමො.