ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
9. අනොමදස්සී බුදුරදුන්ගේ වංශය
සොභිත බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අපමණ පිරිවර ඇති, තේජස් ඇති, යටහත් කළ නොහැකි, ’’අනොමදස්සී’’ නම් සම්බුදුරජතෙම වී.
උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ, (කාම - රූප - අරූප යන) තුන් භවයන් නසා, දෙවි මිනිසුන්ට පැවැත්මට විරුද්ධවූ මග දෙසූ සේක.
උන්වහන්සේ සාගරය මෙන් නොකැළඹිය හැක්කේය. අහස මෙන් කෙළවරක් නැත්තේය. (මහාමේරු) පර්‍වතය මෙන් නොළංවිය හැක්කේය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූ අනූ ව්‍යඤජන ආදියෙන් මල් පිපුණු සල්ගසක් මෙන් බබලයි.
සත්ත්‍වයෝ ඒ බුදුරදුන් දැකීමෙන්ද පිණාගියාහු වෙත්. ඒ සත්ත්‍වයෝ දහම් දෙසන බුදුරදුන්ගේ වචන අසා නිවනට පැමිණෙත්.
ඒ කාලයෙහි උන්වහන්සේගේ ධර්‍මාවබෝධය සමෘද්‍ධවූයේ, වැඩුනේද වී. පළමුවන දම් දෙසුමෙහිදී කෝටි සියයක් (සත්ත්‍වයෝ) ධර්‍මාවබෝධය කළහ.
ඉන් පසුද ධර්‍මාවබෝධයවන දහම් වැසි වස්නා දෙවන දම් දෙසුමෙහිදී, අසූ කෝටියක් දෙනා ධර්‍මාවබෝධය කළහ.
ඉන්මතුත් දහම් වැසි වස්නා කල්හිද (එයින්) ජනයන්ට සංග්‍රහ කරණ කල්හිද, සැත්තෑ අට කෝටියක් සත්ත්‍වයන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
මහර්ෂීවූ ඒ අනෝමදස්සී සම්බුදුරදුන්ට ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි අරහන්ත ඵල විමුක්තියෙන් රැස්වීම් තුණක් වූහ.
ඒ කාලයෙහි තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, මද හා මෝහ පහකළ අටලක්‍ෂයක් පමණ රහතුන්ගේ (පළමු) රැස්වීම වී.
කෙලෙස් අඞ්ගන රහිත, කෙලෙස් දූලී නැති කළ, සන්හුන් සිත් ඇති, තාදී ගුණයෙන් යුත්, සත්ලක්‍ෂයක් රහතුන් වහන්සේලාගේ දෙවන රැස්වීම වී.
කෙලෙස් තැවූ, රාගාදී ගිනි නිවීම කළ, ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, හය ලක්‍ෂයක් රහතුන් වහන්සේලාගේ තුන්වන රැස්වීම වී.
මම ඒ කාලයෙහි මහත් ආනුභාව ඇති, නොයෙක් කෝටි ගණන් යක්‍ෂයන් වසඟ කිරීමෙහි දක්‍ෂ යක් සෙනෙවියෙක් වීමි.
ඒ කාලයෙහිද මහාර්ෂීවූ ඒ උතුම් බුදුරදුන් වෙත එළඹ සඟුන් සහිත ලෝනාහිමියන්ට ආහාර පාණයෙන් සංග්‍රහ කෙළෙමි.
ඒ කාලයෙහි පිරිසිදු ඇස් ඇති ඒ (අනෝමදස්සී) මුනිඳුද, මෙතෙම (යක් සෙනෙවි) මෙයින් අපමණ කපෙහි (අසංඛ්‍ය කල්පයෙහි) බුදුවන්නේයයි මා (ගැණ) ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.
අනෝමදස්සී ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’චන්‍දවතී’’ නම් වී. පියතෙම ’’යසවන්ත’’ නම් රජය. මවු තොමෝ ’’යශොධරා’’ නම් වූවාය.
ඒ අනෝමදස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. ’’සිරී’’ ය, ’’උපසිරී’’ ය ’’වඩ්ඪ’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’සිරිමා’’ නම් වූවාය. පුත් තෙම ’’උපවාරණ’’ නම් වී.
’’ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රන්සිවි ගෙයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ ඒ අනෝමදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ, සුදස්සන නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.
අනෝමදස්සී ශාස්තෲන් වහන්සේට ’’නිසභ’’ ද, ’’අනොම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ’’වරුණ’’ නම් උපස්ථායකයෙක් වී.
’’සුන්‍දරී’’ ද, ’’සුමනා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය කුඹුක් ගසයයි කියනු ලැබේ.
’’නන්‍දිවඩ්ඪ’’ ද, ’’සිරිවඩ්ඪ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’උප්පලා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
මහමුනිඳු පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ ශරීර කාන්තිය නැංගාවූ (උදා) හිරු මෙන් නිතර පැතිරී යයි.
ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. උන්වහන්සේ එතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.
(සෝවාන් ආදී මග ඵල) වලින් හෙබි දහම් ඇති බුදුසසුන කෙලෙස් කිලුටු නැති, රාගාදිය නැතිකළ, තාදී ගුණයෙන් යුත්, රහතුන් කරණකොටගෙන බැබලුනේය.
අපමණ පිරිවර ඇති ඒ ශාස්තෲන් වහන්සේද, ඒ අසමවූ (ශ්‍රාවක) යුගද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ සිස් වූවාහු නොවෙත්ද?
පස්මරුන් දිනූ අනෝමදස්සී ශාස්තෲන් වහන්සේ ’’ධම්මාරාම’’ යේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) විසිපස් යොදුනක් උස්වී. (උසට බඳින ලදී.)
අනොමදස්සිස්ස භගවතො වංසො සත්තමො.