ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

11. නාරද බුදුරදුන්ගේ වංශය

පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නම්න් ’’නාරද’’ නම්වූ සම්බුදු රජතෙම වී.

ඒ (නාරද) බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ (ධනඤ්ජය නම්) උයනට එළඹියේය.

ඒ උයනෙහි ලෝකයෙහි ප්‍රසිද්‍ධවූ, දැකුම්කළු (හොඳින් වැඩුණු) මහත් පිවිතුරු (රත්තොටිල) ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේය.

ඒ තොටිල ගස මුලදී වජ්‍රයකට බඳු (හෙවත් තියුණුවූ) පමණ කළ නොහැකි සර්‍වඥතාඥානය උපනි. ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් (සියලු) සංස්කාරයන් විමසීම කෙළේය.

ඒ තොටිල ගස මුලදී සියලු කෙලෙසුන් ඉතුරු නොකොට විනාශයට පැමිණවී. හුදෙක් (තණි) රහත් මග නුවණටද, තුදුස් බුදු නැණටද පැමිණි සේක.

(උන්වහන්සේ) බුදුබවට පැමිණ දම්සක් පැවැත්වූ සේක. කෝටි ලක්‍ෂයක් දෙනාට පළමුවන ධර්‍මාවබෝධය වී.

ඒ කාලයෙහි (නාරද) මහමුනිසඳු, ’’මහාදොණ’’ නම් නාගරාජයා හික්මවමින් දෙවියන් සහිත ලෝකයා දක්වමින් (යමාමහ) පෙළහරක් කළ සේක.

ඒ කාලයෙහි (කළ) ඒ දම්දෙසුමෙහිදී කෝටි අසූ දහසක් දෙවි මිනිස්සු සියලු සැක දුරු කළහ.

මහාවීරවූ (නාරද) බුදුරජතෙම යම් කාලයක සිය පුතුට අවවාද කළ සේක්ද, (ඒ කාලයෙහි) කෝටි අසූ දහසක් දෙනාට තුන්වන ධර්‍මාවබෝධය වී.

මහර්ෂීවු නාරද බුදුරජුන්ට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනාගේ පළමුවන සමාගමය වී.

යම් කාලයෙක (නාරද) බුදුරජතෙම බුදුගුණ කරුණු සහිතව ප්‍රකාශ කළ සේක්ද, එදා කෝටි අනූදහසක් රහතුන් වහන්සේලා (දෙවන වර) රැස්වූහ.

යම් කාලයෙක ’’වෙරොචන’’ නම් නාගරාජ තෙම ශාස්තෲන් වහන්සේට දානයක් දුන්නේද, එදා අසූ ලක්‍ෂයක් පමණ ජිනපුත්‍රයෝ (රහත්හු) තුන්වන වර රැස්වූහ.

මම ඒ කාලයෙහි දැඩිලෙස කෙලෙස් තැවූ, පඤ්චාභිඥාවන්හි පරතෙරට පැමිණි, අහසෙහි ගමන්කරන ජටිලයෙක් (ජටා බැඳි තවුසෙක්) වීමි.

’’ඒ කාලයෙහිද මම සඞ්ඝයා සහිතවූ පිරිවර ඇති උපාසක ජනයා සහිතවූ අසමසමවූ බුදුරජුන් ආහාරපානයෙන් (වළඳවා) සඳුනෙන් මනාව පිදුවෙමි.

ලෝනාහිමිවූ ඒ නාරද බුදුරජතෙමේ (මේ ජටිල) තෙම මෙයින් අපමන කපෙහි බුදුවන්නේයයි මා (ගැණ) ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ගේ (උපන්) නුවර ’’ධඤ්ඤවතී’’ නම්. (පියතෙම) ’’සුදෙව’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අනොමා’’ නම් වූවාය.

ඒ (නාරද) බුදුරජතෙම (බුදුවීමට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. ’’ජිත’’ ය, ’’විජිත’’ ය, ’’අභිරාම’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් තුන් දහසකි. බිරින්ද ’’විජිත සේනා’’ නම් වූවාය. පුත් තෙම ’’නන්දුත්තර’’ නම් වී.

සතර පෙර නිමිති දැක, පා ගමණින් මහබිනික්මන් කෙළේය. (නාරද) ලෝනා හිමිඳ සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ නාරද ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ට ’’භද්දසාල’’ ද, ’’ජිනම්ත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ ’’වාසෙට්ඨ’’ නම් වී.

’’උත්තරා’’ ද, ’’ඵග්ගුණී’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’උග්ගරින්‍ද’’ ද, ’’වසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ඉන්‍දවරී’’ ද, ’’ඉන්දී’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අසූඅට රියනක් උස්වූ, රන් ඇගෑවක් (පහන් කණුවක්) බඳු (නාරද) මහමුනිඳු තෙම දස දහසක් සක්වළවල් බබලවති.

ඒ (නාරද) බුදුරජුන්ගේ ශරීරයෙන් බඹයක් පමණවූ ආලෝකය හාත්පස නිතර දුවයි. (පැතිරෙයි.) දවල්ද, රෑද නිතර යොදුනක් තැන් පතුරුවයි.

ඒ කාලයෙහි (නාරද) බුදුරජුන්ගේ රශ්මියෙන් පැතුරුණු හාත්පස යොදුනක් පමණ තැන ඇතැම් ජනයෝ පන්දම්ද, පහන්ද නොදල්වත්.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී. ඒ (නාරද) බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

යම්සේ තරු සමූහයන් කරණකොටගෙන අහස විසිතුරුව හොබීද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ ශාසනය රහතුන් කරණකොටගෙණ ශෝභාවත් විය.

ඒ නරදෙටු (නාරද) බුදුරජතෙම (රහතුන් හැර) සෙසු (පිළිවෙත් පිරූ සෙඛාදී) පුද්ගලයන්ට සංසාර නමැති සැඩපහර එතර කිරීම පිණිස මාර්‍ග නැමැති හෙය (ඒදණ්ඩ) දැඩිකොට තබා පිරිනිවි සේක.

අසමසමවූ ඒ (නාරද) බුදුරජතෙමේද, අසමාන තෙද ඇති ඒ රහත්හුද යන සියල්ල අතුරුදන්වී. සියලු සංස්කාරයෝ සිස්වූවාහු නොවෙත්ද?

(නාරද) ජිනරාජයන් වහන්සේ සුදස්සන නම් නුවරෙහි පිරිනිවි සේක. ඒ නුවරෙහිම ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උසට නැංගේය. (බැන්දේය.)

නාරදස්ස භගවතො වංසො නවමො.