ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

12. පදුමුත්තර බුදුරදුන්ගේ වංශය

නාරද බුදුරජුන්ට පසු කාලයෙහි බුදුබවට පැමිණි දෙපා ඇති සතුන්ගෙන් උතුම්වූ නොකැළඹුනු සයුරකට බඳු උපමා ඇති පදුමුත්තර (පියුමතුරා) ජිනරාජයන් වහන්සේ විය.

යම් කල්පයක එක සම්බුදුවරයන් වහන්සේ නමක් උපදීද, ඒ කල්පයම මණ්ඩ කල්පය වෙයි. කුසල් ඇති ජන සමූහයා ඒ කාලයෙහි උපදී.

පදුමුත්තර භාග්‍යවත්හුගේ පළමුවන දම්දෙසුමෙහිදී කෝටි ලක්‍ෂයක් දෙනාට ධර්‍මාවබෝධය වී.

ඉන්පසුද දහම් වැසි වස්නා කල සත්ත්‍වයන් තැවෙන කල්හි තිස්හත් ලක්‍ෂයක් දෙනාට දෙවන ධර්‍මාවබෝධය වී.

මහාවීරවූ බුදුරජතෙම යම් කාලයෙක ’’ආනන්‍ද’’ නම් පියරජු කරා එළඹි සේක්ද, පියරජු වෙතට එළඹ අමා බෙරය ගැසීද, (නිවන සොයාගත් බව දැන්වීද)

අමා බෙරය ගැසූ කල්හි දහම් නමැති වැස්ස වසින කල්හි පණස් ලක්‍ෂයකට තුන්වන ධර්‍මාවබෝධය වී.

සියලු සත්ත්‍වයන්ට (සරණ සිල් ආදීන්ගේ අනුසස් දැක්වීමෙන්) අවවාද කරන්නාවූ (සිවුසස්) අවබෝධ කරවන, චතුරෝඝයයෙන් සත්ත්‍වයන් එතර කරණ ධර්‍ම දේශනාවෙහි දක්‍ෂ (පදුමුත්තර) බුදුරජතෙම බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

පදුමුත්තර බුදුරජුන්ට (ශ්‍රාවකයන්ගේ) රැස්වීම් තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනාගේ පළමුවන සමාගමය වී.

යම් කලෙක අසම සමවූ බුදුරජතෙම වේභාර පර්‍වතයෙහි විසූ සේක්ද, (එකල) කෝටි අනූ දහසක් දෙනාගේ තුන්වන සමාගමය වී.

නැවත සැරිසරා වැඩිය කල්හිදී කෝටි අසූ දහසක් දෙනාගේ තුන්වන සමාගමය වී.

මම ඒ කාලයෙහි ’’ජටික’’ නම් රට වැසියෙක් වීමි. බුදුපාමොක් සඟන වෙත ආහාර සහිත සිවුරු පිදුවෙමි.

ඒ බුදුරජතෙමේද සඟමැද වැඩහිඳ, ’’මේ (ජටික) තෙම මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

ඒ කාලයෙහි සියලු තීර්ත්‍ථකයෝ මානය නසන ලද්දෝය. වෙනස්වු සිත් ඇත්තෝය. නොසතුටු සිත් ඇත්තෝය. ඒ තීර්ත්‍ථකයන්ට කිසිකෙනෙක් ගරු නොකරත්. ඔවුන් රටින් නෙරපත්.

එහි සියලු තීර්ත්‍ථකයෝ රැස්ව නාථය, මහාවීරය, පසැස් ඇත්ත, ’’නුඹවහන්සේ සරණ වනු මැනව’’ යි බුදුරදුන් සරණ ගියාහුය.

සියලු සතුන්ට අනුකම්පා ඇති, කරුණා ඇති, හිත වැඩ සොයන, පැමිණි සියලු තීර්ත්‍ථකයන් පඤ්චශීලයෙහි පිහිටවූ සේක.

මෙසේ ඒ ශාසනය තීර්ත්‍ථකයන්ගෙන් අවුල් නැත්තක්ද, (ඔවුන්ගෙන්) හිස්වූවක්ද වී. වසීවූ තාදී ගුණ ඇති රහතුන් කරණකොටගෙන විසිතුරු වී.

මහර්ෂීවූ පදුමුත්තර බුදුරදුන්ගේ (උපන් නුවර) ’’හංසවතී’’ නම්වී. (පිය) තෙම ’’ආනන්‍ද’’ නම් රජය. වැදූ මව ’’සුජාතා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. ’’නාරිවාහනය, යශය, යසවතී’’ යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාකොට සරසන ලද පිරිවර අඟනෝ සතළිස්තුන් දහසකි. බිරින්ද ’’වසුදත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’උත්තර’’ නම් වී.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුමුත්තර විනයැදුරු (බුදුරද) තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිථිලා’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේට ’’දෙවල’’ ද, ’’සුජාත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුමන’’ නම් විය.

’’අමිතා’’ ද, ’’අසමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ (පදුමුත්තර) භාග්‍යවත්හුගේ බෝරුක ’’සලල රුක’’ යයි කියනු ලැබේ.

’’විතින්නා’’ ද, ’’තිස්ස’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’හත්‍ථා’’ ද, ’’විචිත්තා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් ඇගෑවක් (පහන් ගසක්) බඳු, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් (පදුමුත්තර) මහමුනිඳු පණස් අට රියනක් උස්වූසේක.

ඒ බුදුරදුන්ට හාත්පස (වටා) දොළොස් යොදුනක් තැන කුඩා බිත්තිද, කවුලුද, මහබිත්තිද, ගස්ද, කඳු හා උස් පර්‍වතද ඇහිරීමක් නැත.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ තාක් කල් ඒ බුදුරජතෙම වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.

බොහෝ ජනයා සසරින් එතරකොට සියලු සැක සිඳ, ගිනිකඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

සිව්සස් අවබෝධකළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ නන්දාරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය දොලොස් යොදුනක් උස්වී. (බඳින ලදී.)

පදුමුත්තරස්ස භගවතො වංසො දසමො.