ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
13. සුමෙධ බුදුරදුන්ගේ වංශය
පදුමුත්තර බුදුරදුන්ට පසු කාලයෙහි (සතුරෙකුට) නොළංවිය හැකි, උසස් තෙද ඇති, සියලු ලෝකයාට උතුම්වූ, සියල්ල දත් සුමෙධ ලෝනා හිමිඳු වී.
පහන් නෙත් ඇති, පිරිපුන් මුහුණු ඇති, ගුණයෙන් මහත්වූ, අවංකවූ, බබලන සිරුරක් ඇති, සියලු සතුන්ට වැඩ සිදුකරණ, බොහෝ දෙනා සසර බැඳුමෙන් මිදූ සේක.
යම් කලෙක බුදුරජතෙම පිරිසිදු උතුම් සම්බෝධියට පැමිණ, සුදස්සන නුවරෙහිදී දම්සක් පැවැත්වීද,
උන්වහන්සේගේ (ඒ) දම්දෙසුමෙහිදී ධර්මාවබෝධවීම් තුණක් වූහ. (එයින්) කෝටි ලක්‍ෂයක් දෙනාට පළමුවන ධර්‍මාවබෝධය වී.
නැවතද ඒ ජිනරාජතෙම කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක්ද, කෝටි අනූ දහසක් දෙනාට දෙවැනි ධර්‍මාවබෝධය වී.
නැවතද, අපමණ පිරිවර ඇති බුදුරජතෙම සිවුසස් දෙසූ සේක්ද, අසූ කෝටියක් දෙනාට තුන්වන ධර්‍මාවබෝධය වී.
මහර්ෂීවූ සුමෙධ බුදුරජ පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
යම් කලෙක ජිනරාජයන් වහන්සේ ’’සුදස්සන’’ නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.
ඒ කාලයෙහි නැවතද, ’’දේව’’ නම් පර්‍වතයෙහි භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී අනූ කෝටියක් රහත් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.
නැවතද, දසබලධාරී බුදුරජතෙම යම් කලෙක චාරිකාවෙහි වැඩි සේක්ද, ඒ කාලයෙහි අනූ කෝටියකගේ තුන්වන රැස්වීම වී.
මම ඒ කාලයෙහි ’’උත්තර’’ නම් මානවකයෙක් වීමි. මාගේ ගෙයි අසූ කෝටියක් ධනය රැස්කොට තබන ලදී.
(ඒ) සියල්ල සංඝයා සහිත ලෝනාහිමි බුදුරදුන්ට පුදා ඒ බුදුරදුන්ගේ සරණ ගියෙමි. පැවිද්ද කැමති වීමි. (හෙවත් පැවිදිවූයෙමි.)
ඒ බුදුරජතෙම අනුමෝදනාවක් කරමින්, ’’මේ තෙම කල්ප තිස් දහසක් ගිය කල බුදුවන්නේය’’ යි මා ගැණ ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ (සුමේධ) බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුවෙමි.
සූත්‍රපෙළද, විනයපෙළද, නවාඞ්ග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනයද යන සිල්ල ඉගෙණගෙන බුදුසසුන හෙබවීමි.
මම ඒ කාලයෙහි නොපමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන්ගේ පරතෙරට ගොස් බඹලොව පැමිණියෙමි. (උපනිමි.)
මහර්ෂීවූ ඒ සුමේධ බුදුරදුන්ගේ (උපන්) නුවර ’’සුදස්සන’’ නම්. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුදත්තා’’ නම් වූවාය.
අවුරුදු නව දහසක් ඒ (සුමේධ) බුදුරජතෙම (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසිී. ’’සුචන්‍ද’’ය, ’’කඤ්චන’’ ය, ’’සිරිවඩ්ඪ’’ ය යන උතුම් ප්‍රාසාද රත්න තුනක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සතළිස් අට දහසෙකි. ඒ (ප්‍රසිද්‍ධවූ) බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’සුමිත්ත’’ නම් වී.
(සුමෙධ) ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ සුමෙධ නම් ලෝනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුදස්සන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.
මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සරණ’’ ද, ’’සබ්බකාමී’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සාගර’’ නම් වී.
’’රාමා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මිදෙල්ල (හෝ නොහොත් කොළොම්) ගස යයි කියනු ලැබේ.
’’උරුවෙල’’ ද, ’’යසව්’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’යසොධරා’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
(සුමෙධ) මහමුනිඳු තෙම අසූ අට රියනක් උස්වී. තරු අතරෙහි සඳ මෙන් සියලු දිගුන් හෙබවී.
සක්විති රජුගේ මැණික යම්සේ යොදුනක් තැන් බබලවාද, එසේම ඒ (සුමෙධ) බුදුරදුන්ගේ ශරීර රත්නයේ කාන්තිය හාත්පස යොදුනක් තැන් පැතිරෙයි.
ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
ත්‍රිවිද්‍යාවෙන් හා ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, තාදී ගුණයෙන් යුත් යහපත් රහතුන්ගෙන් මේ ශාසනය ගැවසී ගත්තේ වී.
ඒ සියල්ලෝද අපමණ පිරිවර ඇත්තෝය. කෙලෙසුන්ගෙන් මිදුනෝය. උපධි රහිතයෝය. මහා යසස් ඇති උන්වහන්සේලා ඤාණාලෝකය දක්වා පිරිනිවියහ.
සිව්සස් අවබෝධ කළ සුමෙධ ජිනවර තෙම ’’මෙධ’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.
සුමෙධස්ස භගවතො වංසො එකාදසමො.