ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

15. පියදස්සී බුදුරදුන්ගේ වංශය

සුජාත බුදුරදුන්ට පසු කාලයෙහි, ලෝනාහිමිවූ (සතුරන් විසින්) නොළංවිය හැකි, අසම සමවූ, මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජතෙම වී.

අපමණ යසස් ඇති ඒ (පියදස්සී) බුදුරජතෙම හිරු මෙන් බබලයි. සියලු මොහඳුර නසා, දම්සක් පැවැත්වී.

උතුම් තෙද ඇති ඒ (පියදස්සී) බුදුරදුන්ගේද ධර්‍මාභිසමය තුණක් වූහ. පළමුවන ධර්‍මාවබෝධය කෝටි ලක්‍ෂයක් දෙනාට වී.

සුදස්සන නම් දෙව්රජ මිසදිටුව කැමතිවීද, ශාස්තෲන් වහන්සේ ඔහුගේ මිසදිටුව පහකරවමින් දම් දෙසූ සේක්ද,

ඒ කාලයෙහි මහත්වූ, අසමවූ මහාජනයාගේ රැස්වීමක් වී. (එවිට) කෝටි අනූදහසක් දෙනෙකුන්ගේ දෙවන ධර්මාවබෝධය වී.

යම් කලෙක සත්ත්‍වයන්ට නිවන් මග පෙන්වන (බුදුරදහු) ’’දොණමුඛ’’ නම් ඇතු හික්මවූ සේක්ද, කෝටි අසූ දහසක් දෙනාට තුන්වන ධර්මාවබෝධය වී.

ඒ පියදස්සී බුදුරදුන්ට (ශ්‍රාවකයන්ගේ) රැස්වීම් තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනාගේ පළමුවන රැස්වීම වී.

ඉන් පසුත් එක් ස්ථානයක්හිදී රහතුන් වහන්සේලා අනූ කෝටියක් පමණ (දෙවන වරට) රැස්වූහ. තුන්වන රැස්වීමේදී අසූ කෝටියක් පමණ වූහ.

මම ඒ කාලයෙහි සිප් සතර උගන්වන, වේද මන්ත්‍ර ඉගෙනගත්, තුන් වේදයන්ගේ පරතෙරට ගිය ’’කස්සප’’ නම් බමුණෙක් (වීමි.)

මම ඒ (පියදස්සී) බුදුරදුන්ගේ ධර්‍මය අසා පැහැදීම් ඉපදවූයෙමි. කෝටි ලක්‍ෂයක් පමණ ධනයෙන් සඞ්ඝාරාමයක් කරවීමි.

ඒ බුදුරදුන්ට ආරාමය පූජාකොට සතුටුවූයේ, ප්‍රීතියෙන් විස්මයට පැමිණි සිත් ඇත්තේ, සරණයද, පඤ්ච සීලයද දැඩිකොට සමාදන් වූයෙමි.

ඒ බුදුරජ තෙමේද සඟ මැද වැඩහිඳ, ’’මේ තෙමේ කල්ප අටළොස් සයකින් මත්තෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

ඒ (පියදස්සී) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.

’’පියදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සුධඤ්ඤ’’ නම් වී. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුවන්දා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිී. ’’සුනිමාල’’ ය, ’’විමල’’ ය, ’’ගිරිගුහා’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. බිරින්ද ’’විමලා’’ නම් වූවාය. පුත් තෙම ’’කඤ්චනවෙල’’ නම් වී.

පුරුෂයන්ට උතුම්වූ (පියදස්සී) බුදුරජතෙම සතර පෙර නිමිති දැක රියයානයෙන් මහබිනික්මන් කෙළේය. සමසක් මුලුල්ලේ ප්‍රධාන චර්‍ය්‍යාව කෙළේය.

මහාවීරවූ පියදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ, සිත් අලවන ’’උස්සාවන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පියදස්සී ශාස්තෲන් වහන්සේට ’’පාලිත’’ ය, ’’සබ්බදස්සී’’ ය යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සොභිත’’ නම් වී.

’’සුජාතා’’ ද, ’’ධම්මදින්නා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කුඹුක්’’ ගස යයි කියනු ලැබේ.

’’සන්දක’’ ද, ’’ධම්මික’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විසාඛාව’’ ද, ’’ධම්මදින්නා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අපමණ යසස් ඇති, දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුත් ඒ බුදුරජතෙම අසූ රියනක් උස්වූයේ, (මල් පිපුණු) සල් රුකක් මෙන් දක්නා ලැබේ.

අසමවූ, මහර්ෂීවූ, ඒ (පියදස්සී) බුදුරදුන්ගේ ශරීර ශෝභාව යම්සේ වීද, එබඳු ශෝභාවක් (බැබලීමක්) ගිනිය, සඳය, හිරුය, යන මොවුන්ට නැත.

දෙවියන්ට දෙවිවූ ඒ (පියදස්සී) බුදුරදුන්ටද අවුරුදු අනූ දහසක් ආයුෂය වී. පසැස් ඇති ඒ තාක් කල් ලෝකයෙහි වැඩ සිටි සේක.

අසමසමවූ ඒ බුදුරද තෙමේද, අසමවූ ඒ අගසව් දෙනමද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

ඒ පියදස්සී මුනිවර තෙම ’’අස්සත්‍ථ’’ නම් ආරාමයෙහිදී පිරිනිවි සේක. ඒ ආරාමයෙහිම ඒ බුදුරදුන්ගේ ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

පියදස්සිස්ස භගවතො වංසො තෙරසමො.