ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
14. සුජාත බුදුරදුන්ගේ වංශය
එම මණ්ඩ කල්පයෙහි සීහහනු (සිංහයෙකුගේ හනුවකට බඳු හනුවක්) ඇති, දෙටු ගවයකුගේ කඳට බඳු සමට වටවූ කඳ ඇති, අපමණ තෙද ඇති, (සතුරන් විසින්) ළංවිය නොහැකි සුජාත නම් බුදුවරයෙක් වී.
සඳ මෙන් නිමල්වූ, හිරු මෙන් ප්‍රතාප ඇති, බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මෙසේ බබලන සේක.
සම්බුදුරජතෙම පිරිසිදු උතුම් සම්බෝධිය (සර්‍වඥතාඥානය) ට පැමිණ සුමඞ්ගල නුවරදී දම්සක් පැවැත්වී.
සුජාත නම් ලෝනා හිමි පළමු දම් දෙසුමෙහිදී උතුම් දහම් දෙසු කල්හි අසූ කෝටියක් දෙනා ධර්මාවබෝධය කළහ.
යම් කලෙක අපමණ යසස් ඇති සුජාත බුදුරජතෙම දෙව්ලොව වස් එළඹි සේක්ද, (එකල) තිස්හත් දහසකට දෙවන ධර්මාවබෝධය වී.
යම් කලෙක අසමසමවූ සුජාත බුදුරජතෙම පියාණන් වෙතට එළඹි සේක්ද, සැට ලක්‍ෂයක් දෙනාට තුන්වන ධර්මාවබෝධය වී.
මහර්ෂිවූ සුජාත බුදුරදුන්ට තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති, රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
අභිඤ්ඤාවෙන් බලයට පැමිණි භවයක් පාසා නොපැමිණි, සැට ලක්‍ෂයක් රහත් භික්‍ෂූහු පළමුවර රැස්වූහ.
නැවතද, ජිනරාජයන් දෙව්ලොවින් බස්නා කල්හි පණස් ලක්‍ෂයක් දෙනාගේ දෙවනවර රැස්වීම වී.
ඒ බුදුරදුන්ගේ යම් (සුදස්සන නම්) අග්‍ර ශ්‍රාවකයෙක් නරදෙටු සම්බුදුන් කරා එළඹෙන්නේ, සාර ලක්‍ෂයක් භික්‍ෂූන් සමග එළඹීද, (එදින තුන්වන රැස්වීම වී.)
මම ඒ කාලයෙහි සතර මහ දිවයිනෙහි ඉසුරු (අධිපති)වූ, (සත්රුවන පෙරටුකොට) අහසෙහි හැසිරෙන, මහ බලැති සක්විති රජෙක් වීමි.
ඒ මම ලෝකයෙහි පුදුමයද, අද්භූතයද, ලොමු දැහැගැනුමද දැක, සුජාත නම් ලෝනාහිමිඳුන් කරා එළඹ වැන්දෙමි.
සතර මහ දිවයිනෙහි මහ රජයද, උතුම් සත්රුවන්ද බුදුරදුන්ට පූජාකොට, ඒ (සුජාත) බුදුරදුන්ගේ සමීපයෙහි පැවිදිවිමි.
අරම් වැස්සෝ ජනපදයෙන් උපදනා අය රැස්කර ගෙණ, සිවුරු ආදී පසද, සෙනසුන්ද, බික්සඟනට එළවත්.
දසදහසක් සක්වළෙහි ඉසුරු (අධිපති)වූ, ඒ (සුජාත) බුදුරජතෙමේ, ’’මේ (රජ) තෙම කප් තිස් දහසකින් මත්තෙහි බුදු වන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
මම ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සෙයින් ප්‍රීතිය ඉපදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස උසස්වූ වතක් ඉටුවෙමි.
සූත්‍රපෙළද, විනයපෙළද, නවාඞ්ග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනයද යන සිල්ල ඉගෙණගෙන බුදුසසුන හෙබවීමි.
මම ඒ කාලයෙහි නොපමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන්ගේ පරතෙරට ගොස් බඹලොව පැමිණියෙමි. (උපනිමි.)
මහර්ෂීවූ (සුජාත) බුදුරදුන්ගේ උපන් නුවර ’’සුමඞ්ගල’’ නම් වී. (පියතෙම) ’’උග්ගහ’’ නම් රජය. මව් තොමෝ ’’ප්‍රභාවතී’’ නම් වූවාය.
ඒ (සුජාත) බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිීය. ’’සිරී’’ය, ’’උපසිරී’’ ය, ’’නන්දා’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’සිරිනන්දා’’ නම් වූවාය. පුත් තෙම ’’උපසේන’’ නම් වී.
(සුජාත) ජිනවර තෙම සතර පෙර නිමිති දැක අස් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු නව මසක් මුලුල්ලේ බුදුබව පිණිස උත්සාහ කෙළේය.
මහාවීරවූ (සුජාත) නම් ලෝනාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුමඞ්ගල’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.
මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සුදස්සන’’ ද, ’’සුදෙව්’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’නාරද’’ නම් වී.
’’නාගා’’ ද, ’’නාගසමාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මහ හුණගස’’ යයි කියනු ලැබේ.
ඒ හුණගස හටගත් ශොභා ඇත්තේද, මද සිදුරු ඇත්තේද, බොහෝ පත්‍ර ඇත්තේද වෙයි. කෙලින් වැඩුනු හුණගස, අවට පැතුරුණේද, දැකුම්කලු වූයේද, සිත් ඇලවූයේද වෙයි.
එක කඳක්ව වැඩී, එතැනින් අතු (පසකට) බෙදී ගියේය. හොඳින් බඳනා ලද මොනර පිල් කළඹක් යම්සේද, එසේ ඒ හුණ ගස බබලයි.
ඒ හුණගසේ කටු නොවූහ. සිදුරද ලොකු නොවී. පැතුරුණු අතු ඇති, ඝන අතු ඇති, ඝන සෙවන ඇති (ඒ ගස) සිත් අලවයි.
’’සුදත්ත’’ ද, ’’චිත්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සුභද්දා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
සියලු ආකාරයෙන්ම උතුම්බවට පැමිණි, ඒ (සුජාත) ජිනවරතෙම උසින් පණස් රියනක් ඇත්තේ වී.
ඒ බුදුරදුන්ගේ අසම සමවූ ශරීර කාන්තිය හාත්පස නිතර දුවයි. පමණ නොකළ හැකිය. සමාන නොකළ හැකිය. උපමාවන්ගෙන් උපමා කිරීම ඉක්ම පැවැත්තේය.
ඒ කාලයෙහි අනූ දහසක් අවුරුදු ආයුෂ පවතී. ඒ (සුජාත) බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.
මුහුදෙහි රළ යම්සේ (අලංකාර වෙත්)ද, අහසෙහි තරු යම්සේ (බබලත්)ද, එසේ ඒ කාලයෙහි බුදුසස්න රහතුන්ගෙන් විසිතුරු කරණ ලදී.
ඒ සුජාත බුදුරජතෙම අසම සමය. ඒ බුදු ගුණයෝ පමණ කළ නොහැක්කාහ. සියල්ල අතුරුදන්වී, සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද,
සිව්සස් අවබෝධ කළ (ඒ) සුජාත ජිනවර තෙම ’’සීල’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම ඒ බුදුරජුන්ගේ සෑය (දාගැබ) තුන් ගව්වක් උස් වී.
සුජාතස්ස භගවතො වංසො ද්වාදසමො.