ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
16. අත්‍ථදස්සී බුදුරදුන්ගේ වංශය
එම මණ්ඩ නම් කල්පයෙහි අත්‍ථදස්සී නම් නරදෙටු තෙම මහත්වූ මොහඳුර නසා උතුම් බුදුබවට පැමිණිසේක. ුග බඹහු විසින් අයදනා ලද්දේ, දම්සක් පැවැත්වූ සේක. දසදහසක් සක්වළෙහි දෙවියන් සහිත ලෝකයා අමායෙන් තර්පණය (සෑහීමට පත්) කළ සේක.
ඒ අත්‍ථදස්සී ලෝනාහිමිඳුන්ටද ධර්‍මාභිසමය (ධර්‍මය අවබෝධ කිරීම්) තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට පළමුවන ධර්‍මාවබෝධය වී.
යම් කලෙක අත්‍ථදස්සී නම් බුදුරජතෙම දෙවචාරිකාවෙහි වැඩි සේක්ද, ඒ කාලයෙහි කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.
නැවතද, යම් කලෙක (අත්‍ථදස්සී) බුදුරජතෙම පියාණන් සමීපයෙහිදී දම් දෙසූ සේක්ද, එකළ කෝටි ලක්‍ෂයක් දෙනෙකෙුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
මහර්ෂීවූ උන්වහන්සේටද තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු පහකළ රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
අනූ අට දහසක් (රහතුන් වහන්සේලාගේ) පළමුවන රැස්වීම වී. අසූ අට දහසක් (රහතුන් වහන්සේලාගේ) දෙවන රැස්වීම වී.
උපාදානයන්ගෙන් මිදුනු, කෙලෙස් කිලුටු නැති, මහර්ෂීවූ රහතුන් වහන්සේලා සැත්තෑ දහසකගේ තුන්වන රැස්වීම වී.
මම ඒ කාලයෙහි පොළොවෙහි ශ්‍රේෂ්ඨයයි සම්මතවූ, නම්න් ’’සුසීම’’ නම්වූ, උසස් ලෙස කෙලෙස් තැවීම් ඇති, ජටිලයෙක් (තවුසෙක්) වීමි.
දෙව්ලොව හටගත් මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද දෙව්ලොවින් ගෙනවුත් බුදුරදුන් පිදුවෙමි.
මහාමුනිවූ ඒ අත්‍ථදස්සී බුදුරජ තෙමේද, ’’මේ (ජටිල) තෙමේ කල්ප අටළොස් සියයකගේ මත්තෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ (අත්‍ථදස්සී) බුදුරදුන්ගේද වචනය (කීම) අසා සතුටුවූයේ, විස්මයට පත් සිත් ඇත්තේ, දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
’’අත්‍ථදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සොභන’’ නම් වී. පියතෙම ’’සාගර’’ නම් රජය. වැදූ මව ’’සුදස්නා’’ නම් වූවාය.
ඒ බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’අමරගිරිය’’ ය, ’’සුරගිරි’’ ය, ’’ගිරිවාහන’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’විසාඛා’’ නම් වූවාය. පුත් තෙම ’’සෝන’’ නම් වී.
(අත්‍ථදස්සී) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, අස් යානයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩුවූ අටමසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ, මහා යසස් ඇති අත්‍ථදස්සී නරදෙටු තෙම, බඹහු විසින් අයදනා ලද්දේ, ’’අනොම’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.
අත්‍ථදස්සී ශාස්තෲන් වහන්සේට, ’’සන්ත’’ ද, ’’උපසන්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම අභය නම් වී.
’’ධම්මා’’ ද, ’’සුධම්මා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’සපු ගස’’ යයි කියනු ලැබේ.
’’නකුල’’ ද, ’’නිසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’මකිලා’’ ද, ’’සුනන්දා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
’’අසම සමවූ ඒ බුදුරද තෙමේද අසූ රියනක් උස්විය. (මල් පිපුනු) සල් ගසක් මෙන්ද, පුන්සඳ මෙන්ද බබලයි.
ඒ (අත්‍ථදස්සී) බුදුරජුන්ගේ පියවින්වූ නොයෙක් කෝටි සිය ගණන් රශ්මීහු උඩද, යටද (සහිත) දස දිශාවල යොදුනක් තැන් ඒ කාලයෙහි පැතිරෙත්.
නරදෙටු, සියලු සත්ත්‍වයන්ට උතුම්වූ නුවණින් යුත්, පසැස් ඇති ඒ (අත්‍ථදස්සී) බුදුරජද අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.
ඒ බුදුරජද අසමවූ ආලෝකයක් දක්වා දෙවියන් සහිත ලෝකයන් බබලවා, උපාදානයන්ගේ ගෙවීයාමෙන් (හෙවත් දර දැවී යාමෙන්) ගින්නක් මෙන් (නිවී) අනිත්‍ය බවට පැමිණි සේක.
අත්‍ථදස්සී ජිනවර තෙම ’’අනෝමාරාමයේ’’ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.
අත්ථදස්සිස්ස භගවතො වංසො චුද්දසමො.