ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
17. ධම්මදස්සී බුදුරදුන්ගේ වංශය
එම මණ්ඩ නම් කල්පයෙහි මහා යසස් (කීර්ති) ඇති ’’ධම්මදස්සී’’ නම් බුදුරජ තෙම මොහඳුර නැතිකොට දෙවියන් සහිත ලෝකයෙහි අතිශයින් බැබලී.
අපමණ තේජස් ඇති ඒ ධම්මදස්සී බුදුරදුන්ගේ දම්සක් පැවැත්මෙහිදී කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට පළමු ධර්‍මාභිසමය වී.
යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම ’’සඤ්ජය’’ නම් තාපසයා හික්මවූ සේකද, එදා අනූ කෝටියක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවයබෝධය වී.
යම් කාලයෙක සක්දෙව් රජ පිරිස් සහිතව සත්ත්‍වයන් හික්මවන (ධම්මස්සී) බුදුරදුන් කරා එළඹි සේක්ද, එදා අසූ කෝටියක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
දෙවියන්ට දෙවිවූ ඒ බුදුරදුන්ටද තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැතිකළ රහතුන් වහන්සේලාගේ සන්නිපාත (රැස්වීම්) තුණක් වූහ.
යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම ’’සරණ’’ නම් නගරයෙහි වස් එළඹි සේක්ද, එදා කෝටි දහසක් දෙනෙකෙුන්ගේ පළමුවන රැස්වීම වී.
නැවතද යම් කාලයෙක්හි බුදුරජතෙමේ දෙව්ලොවින් මිනිස් ලොවට වැඩි සේක්ද, ඒ කාලයෙහිද සියක් කෝටියක් දෙනෙකුන්ගේ දෙවන රැස්වීම වී.
නැවතද යම් කාලයෙක්හි බුදුරජතෙම (තෙලෙස්) ධූතගුණයන් ප්‍රකාශ කළ සේක්ද, ඒ කාලයෙහි අසූ කෝටියක් දෙනෙකුන්ගේ තුන්වන රැස්වීම වී.
මම ඒ කාලයෙහි ’’පුරින්‍දද’’ නම් සක්දෙව් රජෙක් වීමි. දෙව්ලොව හටගත් සුවඳින් හා මලින්ද, පසඟතුරින්ද (බුදුරදුන්) පිදුවෙමි.
ඒ බුදුරජතෙමේද දෙවියන් මැද වැඩහිඳ, ’’මේ සක්දෙව් රජ තෙම අටළොස් සිය කල්පයක්හුගේ මත්තෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ (ධම්මදස්සී) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
’’ධම්මදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සරණ’’ නම් වී. පියතෙම ’’සරණ’’ නම් රජය. වැදූ මව් තොමෝ ’’සුනන්‍දා’’ නම් වූවාය.
ඒ බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු අට දහසක් ගිහිගෙයි විසී. ’’අරජ’’ ය, ’’’විරජ’’ ය, ’’සුදස්සන’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.
මනාකොට සරසන ලද පිරිවර අඟනෝ තුන් දහසකි. බිරින්ද ’’විචිතොලි’’ නම් වූවාය. පුත් තෙම ’’පුඤ්ඤවඩ්ඪන’’ නම් වී.
පුරුෂොත්තමවූ ධම්මදස්සී බුදුරජතෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, ධම්මදස්සී නරදෙටු තෙම, බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.
ධම්මදස්සී ශාස්තෲන් වහන්සේට, ’’පදුම’’ ද, ’’ඵුස්සදෙව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුනෙත්ත’’ නම් වී.
’’ඛෙමා’’ ද, ’’සච්චනාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’රත්කරව්’’ ගස යයි කියනු ලැබේ.
’’සුභද්ද’’ ද, ’’කටිසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සාලියා’’ ද, ’’වලීයා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
’’අසම සමවූ ඒ බුදුරජහුද අසූ රියනක් පමණ උසය. දස දහස් ලෝදාහි තෙදින් ඉතා බැබලී.
හොඳින් මල් පිපුණු සල් ගසක් මෙන්ද, අහසෙහි විදුලිය මෙන්ද, ඉර මුදුන් වේලෙහි හිරු මෙන්ද, මෙසේ ඒ බුදුරජතෙම බැබලූ සේක.
අසම තෙද ඇති ඒ බුදුරදුන්ටද (සියලු සත්ත්‍වයන් හා) සමවූ ජීවිතයක් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.
අහසෙහි හිරු සඳු දෙදෙනො මෙන් ආලෝකය දක්වා, ශාසනය පිරිසිදු කොට ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙමේද පිරිනිවි සේක.
මහාවීරවූ ධම්මදස්සී බුදුරජතෙම ’’කේසාරාම’’ යෙහිදී පිරිනිවි සේක. එහිම ඒ උතුම් දාගැබ තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)
ධම්මදස්සිස්ස භගවතො වංසො පන්නරසමො.