ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
20. ඵුස්ස බුදුරජුන්ගේ වංශය
එම මණ්ඩ නම් කල්පයෙහි (දෙවි මිනිසුන්ගේ) අනුශාසකවූ, තමහට වැඩි උතුමෙක් නැති, උපමා රහිත, අසමසමවූ, ’’ඵුස්ස’’ නම් බුදුරජතෙම වී.
ඒ ’’ඵුස්ස’’ නම් බුදුරජතෙමේද, සියලු මොහඳුරු නසා, ලෝභ නමැති මහ අවුල ලිහා දමා, දෙවියන් සහිත ලෝකයා සතප්පවමින් (සනසමින්) අමාදියෙන් වැස්සේය. (හෙවත් නිවන් දෙන දහම් දෙසී.)
ඵුස්ස බුදුරජුන් දම්සක් පවත්වන නැකැත් මඟුලෙහි (සැණකෙලියෙහි) දී කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට පළමු ධර්‍මාවබෝධය වී.
අනූ ලක්‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී. අසූ ලක්‍ෂයක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
මහර්ෂීවූ ’’ඵුස්ස’’ බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
සැට ලක්‍ෂයක් රහතුන්ගේ පළමුවන සමාගමය (රැස්වීම) වී. පණස් ලක්‍ෂයක් රහතුන්ගේ දෙවන සමාගමය වී.
උපාදානයන්ගෙන් අල්වා නොගෙණ මිදුණු, ඉපදීම නැතිකළ, සතලිස් ලක්‍ෂයක් රහතුන් වහන්සේලාගේ තුන්වන රැස්වීම වී.
මම ඒ කාලයෙහි ’’විජිතාවී’’ නම් රජෙකි. මා සතුව තිබූ මහ රජය හැරදමා, උන්වහන්සේ වෙත පැවිදිවූයෙමි.
ලොව නාහිමිවූ ’’ඵුස්ස’’ නම් ඒ බුදුරජතෙමේද, ’’මේ (විජිතාවී) තෙම මෙයින් අනූ දෙවන කපෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ (ඵුස්ස) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
සූත්‍ර (පිටක) යද, විනය (පිටක) යද යන සියලු නවාඞ්ග ශාස්තෘ ශාසනය ඉගෙණ බුදුසසුන හෙබවීමි.
මම ඒ බුදුසස්නෙහි නොපමාව වාසය කරමින් (සතර) බ්‍රහ්ම විහාර භාවනාවන් වඩා, අභිඤ්ඤාවන්හි පරතෙරට ගොස් බඹලොව ගියෙමි. (උපනිමි.)
මහර්ෂීවූ ඵුස්ස බුදුරදුන්ගේ (උපන්) නුවර ’’කාසි’’ නම් වී. පිය තෙම ’’ජයසේන’’ නම්. වැදූ මව් ’’සිරිමා’’ නම් වූවාය.
ඵුස්ස බුදුරජතෙම අවුරුදු හය දහසක් ගිහිගෙයි විසී. ’’ගරුළ’’ ය, ’’හංස’’ ය, ’’සුවන්නභර’’ ය යයි උතුම් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’කිසාගොතමී’’ නම් වූවාය. පුත් තෙම ’’අනූපම’’ නම් වී.
පුරුෂොත්තමවූ බුදුරජතෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ, නරදෙටුවූ, ’’ඵුස්ස’’ නම් ලොවග නාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ ’’ඵුස්ස’’ බුදුරදුන්ට, ’’සුඛිත’’ ද, ’’ධම්මසෙන’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සභිය’’ නම් වී.
’’සාලා’’ ද, ’’උපසාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’නෙල්ලි’’ ගස යයි කියනු ලැබේ.
’’ධනඤ්ජය’’ ද, ’’විසාඛා’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’පදුමා’’ ද, ’’නාගා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
ඒ ඵුස්ස මුනිඳු තෙමේ පණස් අට රියනක් උස්වූයේ, සහස් රැස් (හිරු) මෙන්ද, පුන් සඳ මෙන්ද බබලයි.
ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂය ඇත්තේය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා (බව සයුරෙන්) එතර කළ සේක.
අපමණ යසස් ඇති ඒ ශාස්තෲන් වහන්සේද, බොහෝ සත්ත්‍වයන්ට අවවාද කොට මහජනයා (සසරින්) එතර කොට, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.
ශාස්තෘවූ ඵුස්ස ජිනරාජතෙම ජේතවනාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්හි (උන්වහන්සේගේ) ධාතු පැතිරීම වී.
ඵුස්සස්ස භගවතො වංසො අට්ඨාරසමො.