ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

4. කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශය

දිවකුරු බුදුරදුන්ට පසු කාලයෙහි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නොහැකි ගුණ ඇති, ළංවිය නොහැකි කොණ්ඩඤ්ඤ නම්වූ ලෝකනායත බුදුවරයෙක්වී.

උන්වහන්සේ ඉවසීමෙන් පොළවට බඳු උපමා ඇත්තේය. සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේය. නුවණින් අහසට බඳු උපමා ඇත්තේය.

(ඒ) බුදුරදහු හැම කල්හි සියලු සතුන්ට හිත පිණිස ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣඬ්ග - මග්ග - සච්ච යන මොවුන් ප්‍රකාශවන දහම් දෙසති.

කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල්හි කෝටි ලක්‍ෂයක් දෙවි මිනිසුන්ට පළමුවන වර ධර්‍මාවබෝධය වී.

ඉන් පසුත් දෙවි මිනිසුන්ගේ රැස්වීමක දහම් දෙසන කල්හි කෝටි අනූදහසක් දෙනාට දෙවනවර ධර්‍මාවබොධය වී.

යම්කලෙක තීර්ත්‍ථකයන් මඩිමින් දහම් දෙසීද, එකල කෝටි අසූ දහසක් දෙනාට තුන්වන වර ධර්‍මාවබෝධය වී.

මහර්ෂීවූ කොණ්ඩඤ්ඤ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී (අටලෝ දහම්හි එකබඳු) ගුණ ඇති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.

කෝටි සියක් දහසක් රහතුන්ගේ පළමු රැස්වීම වී. කෝටි දහසක් රහතුන්ගේ දෙවන රැස්වීම වී. අනූ කෝටියක් රහතුන්ගේ තුන්වන රැස්වීම වී.

ඒ කාලයෙහි මම ’’විජිතාවී’’ නම් සක්විති රජව, මුහුදු කෙළවර අවසන්කොට පොළොවෙහි ඉසුරු බව (සක්විති රජය) පවත්වමි.

මම ලොවග නාහිමිඳු (බුදුරජහු) සමග රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලා කෝටි සියක් දහසක් මිහිරි ආහාරයෙන් වැළඳවීමි.

ඒ ලෝහිමිවූ කොණ්ඩඤ්ඤ බුදුරදහුද ’’මෙයින් (මේ කපින්) පමණ නොකළ හැකි කපෙහි ලෝකයෙහි බුදුවන්නේය’’ යි මා පිළිබඳව ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

මම ඒ කොණ්ඩඤ්ඤ බුදුරදුන්ගේ කීම අසා බොහෝ සේ සිත පැහැදවීමි. ඒ බුදුවීමේ අර්ත්‍ථයම සිදුකරගන්නේ (සක්විති) මහරජය ජිනරාජයන් වෙත පිදුයෙමි. සක්විති මහරජය පුදකොට උන්වහන්සේගේ සමීපයෙහි පැවිදිවීමි.

සූත්‍රපෙළද, විනයපෙළද, නවාඞ්ග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනයද යන සියල්ල ඉගෙණගෙන බුදුසසුන හෙබවීමි.

මම ඒ කාලයෙහි නොපමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා, පඤ්චාභිඤ්ඤාවන්ගේ පරතෙරට ගොස් බඹලොව පැමිණියෙමි. (උපනිමි.)

මහර්ෂීවූ කොණ්ඩඤ්ඤ බුදුරදුන්ගේ නුවර ’’රම්මවතී’’ නම් විය. පියතෙම ’’සුනන්‍ද’’ නම් රජය. වැදූමව ’’සුජාතා’’ නම් බිසවය.

ඒ (කොණ්ඩඤ්ඤ නම්) බුදුරජතෙම අවුරුදු දස දහසක් ගිහිගෙයි විසී. ’’රුචි’’ ය, ’’සුරුචි’’ ය, ’’සුභ’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාව (අබරණින්) සරසන ලද පිරිවර අඟනෝ තුන් ලක්‍ෂයකි. බිරිඳ ’’රුචිදේවී’’ නම්. පුත් තෙම ’’ජිනසේන’’ නම් විය.

(කොණ්ඩඤ්ඤ නම්) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රියකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය (හෙවත් බුදුවීම පිණිස වෙර වෑයම්) කෙළේය.

මහා වීර්‍ය්‍යය ඇති දෙපා ඇති සත්ත්‍වයන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ කොණ්ඩඤ්ඤ බුදුරජ තෙම බඹහු විසින් අයදනා ලද්දේ, දෙවියන්ගේ උතුම් නගරයේදී (හෙවත් දෙව්ලොවදී) දම්සක් පැවැත්වූහ.

මහර්ෂීවූ (කොණ්ඩඤ්ඤ) බුදුරදුන්ට ’’භද්ද’’ ද, සුභද්ද’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’අනුරුද්‍ධ’’ නම් වී.

මහර්ෂීවූ බුදුරදුන්ට ’’තිස්සා’’ ද, ’’උපතිස්සා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සලකලණ ගස බෝරුක විය.

’’සෝන’’ ද, ’’උපසෝන’’ ද යන අග්‍ර උපස්ථායයෝ දෙදෙනෙක් වූහ. ’’නන්‍දා’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

කොණ්ඩඤ්ඤ මහා මුනිඳු අසූ අට රියනක් උසය. පුන් සඳ මෙන්ද, දින මැද හිරු මෙන්ද බබලයි.

ඒ කාලයෙහි අවුරුදු සියක් දහසක් ආයුෂ ඇත. ඒතාක් කල් වැඩ වසමින් ඒ බුදුරජතෙම බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

පොළොව රාගාදී කිලුටු නැති රහතුන් කරණකොටගෙන විසිතුරු විය. අහස තරුවලින් යම්සේ (අලංකාර) වීද, එසේ ඒ බුදුරජතෙම විශෙෂයෙන් බැබලුනේය.

(සීලාදී) ගුණයෙන් පමණ නොකළහැකි සතුරන් විසින් නොකැළඹිය හැකි (පවිටන් විසින්) ළංවිය නොහැකි, මහ පිරිවර ඇති, නාග නම්වූ ඒ රහතුන් වහන්සේලා විදුලි හෙලීමක් මෙන් (චරිතයන්) දක්වා පිරිනිවුනාහ. 15ග පස්මරුන් දිනූ බුදුරදුන්ගේ පමණ කළ නොහැකි ඒ ඎද්‍ධියද, සවන් නැණද, නිතර වඩන ලද සමාධියද යන සියල්ල අතුරුදන්වී සියලු සකරදම් සිස්වූවාහු නොවෙත්ද,

උතුම්වූ කොණ්ඩඤ්ඤ නම් බුදුරජතෙම ’’චන්‍දාරාම’’ යේදී පිරිනිවි සේක. එහිම විසිතුරු සෑය (දාගැබ) සත්යොදුන් කොට බඳින ලද්දේය.

කොණ්ඩඤ්ඤස්ස භගවතො වංසො දුතියො.