ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
5. මඞ්ගල බුදුරදුන්ගේ වංශය
කොණ්ඩඤ්ඤ නම් බුදුරදුන්ට පසු කාලයෙහි මඞ්ගල නම් ලෝකනායකයන් වහන්සේ, ලොකයෙහි මෝහ නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක.
සෙසු ජිනරාජයන්ට වඩා පැතුරුණාවූද උන්වහන්සේගේ අසමානවූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනාගේ ආලෝකය යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.
ඒ බුදුරදහුද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ නමැති) අඳුර නැති කරත්.
අසමවූ බුදුබවට පැමිණ පළමුවන දම්දෙසුමෙහිදී (දෙවි මිනිසුන්) කෝටි සියක් දහසකට පළමුවන වර ධර්‍මාවබෝධය වී.
(ඒ) බුදුරජතෙම සක්දෙව් විමනෙහිදී දම් දෙසූසේක්ද, කෝටි නව දහසකට දෙවන වර ධර්‍මාවබෝධයවී.
යම් කලෙක ආනන්‍ද නම් සක්විති රජ බුදුරදුන් වෙත එළඹියේද, එකල භාග්‍යවත්වූ සම්බුදුරජ තෙම ඉතා උතුම් දහම් නමැති බෙරය ගැසීද,
ඒ කාලයෙහි සුනන්‍ද නම් සක්විති රජහුගේ එකට හැසිරෙන ජන සමූහයෝ අනූ කෝටියක් වූහ. ඒ හැම දෙනම ඉතිරිනොවී එහිභික්ඛු භාවයෙන් (මහණ මෙහි එව කී පමණින්) පැවිද්දෝ වූහ.
මහර්ෂීවූ මංගල බුදුරදුන්ට (ශ්‍රාවකයන්ගේ) රැස්වීම් තුනක් වූහ. කෝටි සියක් දහසක් දෙනාගේ පළමුවන රැස්වීම විය.
ඒ කාලයෙහි (රාගාදී කෙලෙස්) කිලුටු නැති රහතුන් වහන්සේලා කෝටි දහසක් දෙනාගේ දෙවන රැස්වීමද, අනූ කෝටියක් දෙනාගේ තුන්වන රැස්වීමද වී.
මම ඒ කාලයෙහි මන්ත්‍ර උගන්වන්නාවූ, සිප් සතර ඉගෙනගන්නාවූ තුන් වේදයෙහි පරතෙරෙට පැමිණි ’’සුරුචි’’ නම් බමුණෙකි.
මම ඒ මඞ්ගල බුදුරදුන් කරා එළඹ බුදුරදුන්ගේ සරණ ගොස් බුදුපාමොක් සඟන සුවඳ මලින් පිදුවෙමි. සුවඳ මලින් පුදා ගව පානයෙන් වැළඳෙව්වෙමි.
දෙපා ඇති සත්ත්‍වයන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ ඒ මඞ්ගල බුදුරජහුද මේ කපින් අපමණ (අසංඛ්‍ය) කල්පයෙහි මෙතෙම බුදුවන්නේයයි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.
ඒ කාලයෙහි උතුම් බුදුබවට පැමිණීම පිණිස සතුට දියුණු කරමින් බුදුරදුන් විෂයෙහි මාගේ ගෙය පූජාකොට උන්වහන්සේගේ සමීපයෙහි පැවිදිවීමි.
සූත්‍රපෙළද, විනයපෙළද, නවාඞ්ග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනයද යන සියල්ල ඉගෙණගෙන බුදුසසුන හෙබවීමි.
මම ඒ කාලයෙහි නොපමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා, පඤ්චාභිඤ්ඤාවන්ගේ පරතෙරට ගොස් බඹලොව පැමිණියෙමි. (උපනිමි.)
ඒ මහර්ෂීවූ මඞ්ගල බුදුරදුන්ගේ නුවර ’’උත්තර’’ නම් විය. (පියතෙම) ’’උත්තර’’ නම් රජය. පව් තොමෝ උත්තර නම් බිසවය.
ඒ බුදුරජහු (බුදුවීමට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. ’’යසවන්තු’’ ය, ’’සුචිමන්තු’’ ය, ’’සිරිමන්තු’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව අබරණින් සරසන ලද පිරිවර අඟනෝ සම තිස් දහසකි. බිරිඳ ’’යසවතී’’ නම් වූවාය. පුත්‍රතෙම ’’සිවලී’’ නම් විය.
(මඞ්ගල) ජිනරාජතෙම සතර පෙරනිමිති දැක අසුන් යෙදූ යානාවෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩුවූ අට මසක් මුළුල්ලේ (බුදුබව පිණිස) මහත් උත්සාහය කෙළේය.
මහත් වීර්‍ය්‍යය ඇති මඞ්ගල ලෝහිමිතෙම බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් ශෝභා ඇති වනයෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවු මඞ්ගල බුදුරදුන්ට ’’සුදෙව්’’ ද, ’’ධම්මසෙන’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම පාලිත නම් විය.
’’සීවලී’’ ද, ’’අසෝකා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය නාගසයයි කියනු ලැබේ.
’’නන්‍ද’’ ද, ’’විසාඛා’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’අනුලා’’ ද, ’’සුතනා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.
මඞ්ගල මහමුනිඳු අසූ අට රියනක් උසය. උන්වහන්සේගේ ශරීරයෙන් නොයෙක් සිය දහස් ගණන් රැස් නිතර දුවත්.
ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂ ඇත. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
මුහුදෙහි ඒ රළ ගණින්ට යම්සේ නොහැකි වෙත්ද, එසේම උන්වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ ගණින්ට නොහැක්කාහ.
ලෝකනායකවූ මඞ්ගල බුදුරජහු යම්තාක් කල් වැඩ සිටි සේක්ද, (ඒතාක් කල්) උන්වහන්සේ සස්නෙහි රාගාදී කෙලෙස් සහිතයන්ගේ මරණයක් වූයේ නැත.
මහත් පිරිවර ඇති ඒ මඞ්ගල බුදුරජහු දහම් නමැති ගිනිහුල දරා, මහජනයා (සසර සයුරෙන්) එතරකොට ගින්නක් මෙන් දැල්වී පිරිනිවි සේකි.
දෙවි මිනිසුන් විෂයෙහි සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාව දක්වා, ගිනි කඳක් මෙන් දිලිහී, හිරු මෙන් අස්තයට ගිය සේක.
මඞ්ගල බුදුරජහු ’’වෙස්සර’’ නම් උයනෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) තිස් යොදුනක් උස්විය.
මඞ්ගලස්ස භගවතො වංසො තතියො.