ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

6. සුමන බුදුරදුන්ගේ වංශය

මඞ්ගල බුදුරදුන්ට පසු කාලයෙහි සියලු ධර්මයන් අසමවූ, සියලු සත්ත්‍වයන්ට උතුම්වූ, සුමන නම් ලෝකනායක තෙම වී.

ඒ කාලයෙහි ඒ සුමන බුදුරජහුද ’’මෙඛල’’ නම් නුවරදී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍ම කථා නම්වූ නවාංඞ්ග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.

ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම්වූ සම්බොධියට (බුදුබවට) පැමිණ නිවන් නමැති නුවරක් මැවී. ඒ දහම් නමැති පුරයෙහි

උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී.

ඒ වීථියෙහි (සෝවාන් ආදී) සතර පැවිදි ඵලයන්ද, සිව්පිළිසිඹියාවන්ද, ෂට් අභිඥවෙන්ද, අට සමවත්ද පැතිරවී.

යම් කෙනෙක් නොපමාවූවාහුද, පඤ්චචෙතොබලයෙන් (සිතේ ඇනුණු උල් පසින්) තොරවූවාහුද, ලජ්ජාවෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්තවූවාහුද, ඒ ඒ දෙවි මිනිස්සු මේ උතුම් ගුණයන් පහසුවෙන් ගණිත්.

මෙසේ (සුමන) ශාස්තෲන් වහන්සේ මේ ආකාරයෙන් මහජනයා (සසර සයුරෙන්) ගොඩලමින් කෝටි ලක්‍ෂයකට පළමුවර සිව්සස් අවබෝධ කරවූ සේක.

මහාවීරතෙම යම් කලෙක තීර්ත්‍ථක සමූහයාට අවවාද කළ සේක්ද, (ඒ) දෙවනවර දම් දෙසුමෙහිදී කෝටි දහසක් දෙනා ධර්මය අවබෝධ කළාහුය.

යම් කලෙක දෙවියෝද, මිනිස්සුද සමගිවූවාහු, එක් සිත් ඇත්තාහු නිරෝධය (නිවණ) පිළිබඳ ප්‍රශ්නද, සිතේ හටගත් සැකය විචාළාහුද,

ඒ කාලයෙහි නිවන් දක්වන දම් දෙසුමෙහිදී කෝටි අනූ දහසක් දෙනාට තුන්වනවර ධර්මය අවබෝධ වී.

මහාර්ෂිවූ සුමන බුදුරදුන්ට (හොඳ නරක දෙකෙහි සමව පවත්නා) තාදී තුණ ඇති, රාගාදී කිලුටු නැති මහතුන්ගේ රැස්වීම් තුනක් විය.

වස් විසූ භාග්‍යවතුන් වහන්සේ විසින් පවාරණය දැන්වූ කල්හි කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන් සමග තථාගතයන් වහන්සේ පවාරණය කළ සේක.

ඉන්පසු නිර්මලවූ කසුන් පව්වෙහි රැස්වීමේදී කෝටි අනූ දහසකගේ දෙවන රැස්වීම විය.

යම් කලෙක සක්දෙව් රජ බුදුන් දැකීමට එළඹියේද, (එකල්හි) කෝටි අනූ දහසක් දෙනාගේ තුන්වන රැස්වීම වී.

මම ඒ කාලයෙහි මහත් ඎද්‍ධි ඇති, වැඩුනු කුසල් රාශි ඇති, නම්න් ’’අතුල’’ නම්වූ නාගරාජයෙක් වීමි.

ඒ කාලයෙහි මම නාග භවනයෙන් නික්ම සිය නෑයන් සමග නාගයන්ගේ දිව්‍ය තූර්‍ය්‍යයෙන් සංඝයා සහිත ජිනරාජයන් වහන්සේට උවටැන් කෙළෙමි.

කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන්ට ආහාර පානයෙන් සංග්‍රහ කෙළෙමි. එක එක නමට පිළි සඟල බැගින් පුදා උන්වහන්සේ සරණ ගියෙමි.

ලෝකනායකවූ ඒ සුමන නම් බුදුරජහුද මෙයින් අපමණ කල්පයේදී මෙතෙම බුදුවන්නේයයි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

සුමන බුදුරදුන්ගේ (උපන්) නතරය මෙඛල නම්වී. පියගෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සිරිමා’’ නමැති බිසව වූවාය.

ඒ සුමන බුදුහු (බෝසත් කල) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. චන්‍ද්‍රය, සුචන්‍ද්‍රය, වටංස යයි උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද (පිරිවර) අඟනෝ සැටතුන් දහසකි. බිරින්ද වටංසකී නම් වූවාය. පුත් තෙම අනූපම නම් වී.

(ඒ) සුමන ජිනරාජතෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුලුල්ලෙහි (බුදුවීම පිණිස) ප්‍රධාන වීර්‍ය්‍යය (මහා උත්සාහය) කෙළේය.

මහාවීරවූ සුමන නම් ලොනාහිමිහු බඹහු විසින් අයදනා ලද්දේ, මෙඛල නම් උතුම් නුවරෙහි දී දම්සක් පැවැත්වූ සේක.

සුමන බුදුරජුන්ට ’’සරණ’’ ද, ’’භාවිතත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ උදාන නම් වී.

’’සොනා’’ ද, ’’උපසොනා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. අපමණ පිරවර ඇති ඒ සුමන බුදුරජහුද ’’නා ගස’’ මුලදී සිව්සස් අවබෝධ කළ සේක.

’’වරුණ’’ ද, ’’සරණ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’මාලා’’ ද, ’’උපමාලා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

ඒ සුමන බුදුරජහු උසින් අසූ රියනක් උස්වූයේ, රන් පහන් කනුවක් සේ දස දහසක් සක්වළ බැබලවී.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂය පවතී. ඒ සුමන බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (සසර කතරින්) එතර කළ සේක.

සම්බුදුරජතෙම එතර කළ යුතු සත්ත්‍වයින් ’සසරින්) එතර කරවා අවබෝධ කළ යුතු සත්ත්‍වයන්ට සිව්සස් අවබෝධ කරවී. (නැවත) අස්තයට ගිය තරු රජ (සඳ) මෙන් පිරිනිවි සේක්.

ඒ ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂූහුද, අසදෘශ (සම කෙනෙක් නැති) ඒ සුමන බුදුරජහුද යන මහ පිරිවර ඇති උන්වහන්සේලා අසමවූ ශෝභාව දක්වා පිරිනිවි සේක.

සමාන නොකළ හැකි ඒ (බුදු) නුවණද, තුලනය (සම) නොකළ හැකි ඒ බුද්‍ධාදී තෙරුවන්ද යන සියල්ල අතුරුදන්විය. (නොපෙනී ගියේය.) සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?

කීර්තිය දැරූ සුමන බුදුරජහුද ’’අඞ්ගාරාම’’ යෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජින සෑය (දාගැබ) සිව් යොදුනක්ව උස්ව නැංගේය. (බඳින ලද්දෝය.)

සුමනස්ස භගවතො වංසො චතුත්ථො.