ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

7. රේවත බුදුරදුන්ගේ වංශය

සුමන බුදුරදුන්ට පසු කාලයෙහි උපමා රහිත, සමාන කෙනෙක් නැති, අසමවූ, උතුම්වූ, පස් මරුන් දිනූ රෙවත නම් බුදුවරතෙම (වී.)

ඒ රේවත බුදුරජහුද, බඹහු විසින් අයදනා ලද්දේ, පඤ්චස්කන්ධයන්ගේ හා අටළොස් ධාතූන්ගේ විභාග කිරීම ඇති, භවාභවයන්ගේ මනා පැවැත්ම කරණ ධර්‍මය ප්‍රකාශ කළ සේක.

උන්වහන්සේගේ දහම් දෙසුමෙහිදී අභිසමය (ධර්‍මාවබෝධය) තුණක් වූහ. පළමු ධර්‍මාවබෝධය ගණනින් නොකිය හැකිය.

යම් කලෙක රේවතී මුනිඳු තෙම ’’අරින්‍දව’’ නම් රජු හික්මවීද, එකල්හි කෝටි දහසක් දෙනාට දෙවන ධර්‍මාභිසමය විය.

නරදෙටු ( බුදුරජ) තෙම සත් දවසක් (සිත එකඟ කිරීමේ) විවේකයෙන් (හිඳ) නැගීසිට, කෝටි සියයක් දෙවි මිනිසුන් උතුම් (රහත්) ඵලයෙහි හික්මවී.

රේවත බුදුරදුන්ට තාදී ගුණ ඇති, යහපත්ව මිදුණු, (රාගාදී) කෙලෙස් කිලුටු නැති රහතුන්ගේ රැස්වීම් තුණක් වූහ.

යම් කෙනෙක් පළමු රැස්වීමට පැමිණියාහුද, ඔවුහු ගණන් මගින් ඉක්ම ගියාහු, කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ගේ (රහතුන්ගේ) දෙවන රැස්වීම වී.

’’යම් බුදු කෙනෙකු නුවණින් අසමද, ඒ නුවණට අනුව දම්සක් පවත්වයිද, ඒ රේවත බුදුරජතෙම ඒ කාලයෙහි ලෙඩින් පෙලුණේ, ජීවත් වේද, නොවේද යන සැකයට පැමිණියේ වී.

ඒ කාලයෙහි උන්වහන්සේගේ ලෙඩ විචාරීම පිණිස යම් ස්ථිර සිත් ඇති කෝටි ලක්‍ෂයක් රහත්හු එළඹියාහුද, තුන්වන රැස්වීම විය.

මම ඒ කාලයෙහි අතිදෙව නම් බමුණෙක් වීමි. රේවත බුදුරදුන් කරා එළඹ උන්වහන්සේගේ සරණ ගියෙමි.

මම රේවත බුදුරජුන්ගේ සීලයටද, සමාධියටද, අතිශයින් අතුම් ප්‍රඥා ගුණයටද පැසසිය යුතු පරිද්දෙන් පසසා පොරොවන රෙද්දක් පුද කෙළෙමි.

ලෝනාහිමිවූ ඒ රේවත බුදුරජහුද, මේ කපින් අසංඛ්‍ය කල්පයෙහි මේ තෙම බුදුවන්නේයයි මා (ගැණ) ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

[සූත්‍රපෙළද, විනයපෙළද, නවාඞ්ග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනයද යන සියල්ල ඉගෙණගෙන බුදුසසුන හෙබවීමි. ]

[මා විසින් යම් බුදුබවක් මනාකොට පතන ලදද, ඒ මේ බුදුබව ඇති කරන්නෙමි. ඒ කාලයෙහිත් බුද්‍ධකාරක ධර්‍මයන් සිහිකොට වැඩූයෙමි. ]

මහ තවුස්වූ රේවත බුදුරජුන්ගේ නුවර ’’සුධම්මවතී’’ නම්. (පියතෙම) ’’විපුල’’ නම් රජය. වැදූ මව ’’විපුලා දේවි’’ය.

’’උන් වහන්සේ (බෝසත් කල) අවුරුදු හයදාහක් ගිහිගෙයි විසී. අලඞ්කාර කරණ ලද ’’සුදස්සන’’ ය, ’’රතනග්ඝි’’ ය, ’’අචෙල’’ ය යන පින්කමින් උපන් උතුම් තුන් පහයක් වූහ.

හොඳින් සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. දේවී තොමෝ ’’සුදස්සනා’’ නම්. පුත් තෙම වරුණ නම් වී.

(රේවත) ජිනවර තෙම, සතර පෙර නිමිති දැක, රථ යානයෙන් මහබිණික්මන් කෙළේය. නොඅඩු සත් වසක් මුළුල්ලෙහි (බුදුබවට පැමිණීම පිණිස) ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහෘවීරවූ රේවත නම් ලෝනාහිමි තෙම බඹුහු විසින් අයදනා ලද්දේ, ශ්‍රීයාවෙන් ඝනවූ, වරුණ නම් ආරාමයේදී දම් සක් පැවැත්වී.

රේවත බුදුරජුන්ට ’’වරුණ’’ ය, ’’බ්‍රහ්මදේව’’ ය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ’’සම්භව’’ නම්වූ උපස්ථායකයෙක් විය.

’’භද්දා’’ ද, ’’සුභද්දා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. අසමසමවූ ඒ රේවත බුදුරදහුද නා ගසක් මුලදී සිව්සස් අවබෝධ කළහ. (බුදුවිය.)

’’පදුම’’ ද, ’’කුඤ්ජර’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’සිරිමා’’ ද, ’’යසවතී’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

’’ඒ (රේවත) බුදුරජහු උසින් අසූ රියනක් උස්විය. උස්ව සිටි ඉන්ද්‍රයාගේ ධ්වජය මෙන් සියලු දිසාවන් හොබවයි.

’’උන්වහන්සේගේ ශරීරයෙහි හටගත් උතුම්වූ රශ්මි මාලාව දහවල්ද, ඉදින් රැයෙහිද, හාත්පස යොදුනක් තැන් පැතිරීය.

’’ඒ කාලයෙහි අවුරුදු සැටදහසක් ආයුෂය පවතී. ඒ රේවත බුදුරජ තෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කළ සේක.

බුද්‍ධ බලය දක්වා ලෝකයෙහි අමෘතය (නිවණ) ප්‍රකාශ කරමින් උපාදාන (දර) අවසන් වීමෙන් ගිණි යම්සේ (නිවීමට යේ)ද, එසේ පඤ්ච උපාදානයන්ගේ අභාවයෙන් පිරිනිවි සේක.

රත්නයක් වැනිවූ ඒ රූපකාය (ශරීරය)ද, අසමවූ ඒ ධර්‍මයද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

කීර්තිය දරන ඒ රේවත මහා මුනිඳු තෙම පිරිනිවි සේක. ඒ ඒ ප්‍රදේශයන්හි ධාතු පැතිරවීම විය.

රෙවතස්ස භගවතො වංසො පඤ්චමො.