ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

8. සොභිත බුදුරදුන්ගේ වංශය

රේවත බුදුරදුන්ට පසු කාලයෙහි එකඟවූ සන්හුන් සිත් ඇති, අසමවූ, තමහට සමානයෙක් නැති සොභිත නම් ලෝහිමි බුදුරජතෙම වී.

ඒ ජිනරාජතෙම ස්වකීය භවනයෙහිදී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබවට පැමිණ දම්සක් පැවැත්වූ සේක.

දම්සක් දෙසුමෙහිදී උඩින් භවාග්‍රය තෙක්ද, යටින් අවීචිය තෙක්ද, මේ අතර එක පිරිසක් විය.

සම්බුදුවරතෙම ඒ පිරිසෙහි දම්සක් පැවැත්වී. ගණන් නොකළ හැකි පිරිසකට පළමුවන ධර්‍මාවබෝධය විය.

ඉන් පසුවත් දෙවි මිනිසුන්ගේ සමාගමයෙහිදී දහම් දෙසන කල්හි කෝටි අනූ දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය විය.

නැවත ’’ජයසේන’’ නම් කැත් රජදරු තෙම ආරාමයක් ගොඩනගා ඒ කාලයෙහි බුදුරදුන්ට පාවාදුන්නේය.

පසැස් ඇති බුදුරජතෙම ඒ ’’ජයසේන’’ රජුගේ දානය වර්‍ණනාකොට දහම් දෙසූ සේක. එකල්හි කෝටි දහසක් දෙනාට තුන්වන ධර්‍මාවබෝධය විය.

මහාර්ශිවූ සෝභිත බුදුරදුන්ට තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු රහිත රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.

’’උග්ගත’’ නම්වූ ඒ රජ (සොභිත) නරදෙටුවන් වහන්සේට දානයක් දුනි. ඒ දානයෙහි සියක් කෝටියක් පමණ රහතුන් වහන්සේ පැමිණියාහ. (මෙසේ පළමු රැස්වීම විය.)

නැවත නුවර වැසි සමූහයා (සොභිත) නරදෙටුවන් වහන්සේට දානයක් දුනි. ඒ කාලයෙහි අනූ කෝටියක් දෙනෙකුන්ගේ (රහතුන්ගේ) දෙවන රැස්වීම විය.

පස්මරුන් දිනූ (සොභිත) බුදුවරතෙම දෙව්ලොවෙහි වස් විසීම් කොට යම් කලෙක බැස්ස සේක්ද, ඒ කාලයෙහි අසූ කෝටියක් රහතුන්ගේ තුන්වන රැස්වීම විය.

මම ඒ කාලයෙහි ’’සුජාත’’ නම් බමුණෙක් වීමි. ඒ කාලයෙහි ශ්‍රාවකයන් සහිතවූ බුදුරදුන් ආහාර පානයෙන් වැළඳවීමි.

ලෝ නා හිමිවූ ඒ සෝභිත බුදුවරයන් වහන්සේද, ’’මේ තෙම මෙයින් පමණ නොකළ හැකි කපෙහි බුදු වන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

මහර්ෂීවූ සොභිත බුදුරදුන්ගේ (උපන්) නගරය ’’සුධම්ම’’ නම්. පියතෙම ’’සුධම්ම’’ නම් රජය. වැදූ මව් ’’සුධම්මා’’ නම් වූවාය.

ඒ සෝභිත බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසීය. කුමුදය, කලීරය, පදුමය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සැත්තෑසය දහසකි. ඒ බිරින්ද ’’සමඞ්ගී’’ නම් වූවාය. පුත් තෙම ’’සිංහ’’ නම් විය.

පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දිනක් පුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසිර (හෙවත් ප්‍රධාන වීර්‍ය්‍යය කොට), සිව්සස් අවබෝධ කරන්නේ, ’’නා’’ රුකක් මුලදී සිව්සස් අවබෝධ කළ සේක. (බුදුවිය.)

මහාවීරවූ සොභිත නම් ලෝනාහිමි වෙත බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුධම්ම’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සෝභිත මුනිඳුන්ට ’’අසම’’ ද, ’’සුනෙත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම, ’’අනොම’’ නම් වී. ’’නකුල’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ.

’’රම්ම’’ ද, ’’සුනන්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’නකුලා’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

(සොභිත නම්) මහ මුනිඳු පණස් අට රියනක් උස්වීය. උදාහිරු මෙන් සියලු දිගුන් (එකල) හොබවයි.

මල් පිපුණු මහ වනය නොයෙක් සුවඳින් යම්සේ සුවඳ කරණ ලද්දේද, එමෙන් උන්වහන්සේගේ සද්‍ධර්මය සිල් සුවඳින් සුවඳ කරන ලද්දේය.

යම් සේ සාගරය දැකීමෙන් සෑහීමකට නොපැමිණේද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ සද්‍ධර්මය ඇසීමෙන් සෑහීමකට නොපැමිණේ.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂය පවතී. ඒතාක් කල් වැඩසිටිමින් ඒ සෝභිත බුදුරජතෙම බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ඒ සෝභිත බුදුරජහු සෙසු ජනයා කෙරෙහි අවවාදද, අනුශාසනාද දී, ගින්නක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

අසමවූ ඒ බුදුරජහුද (සීලාදියෙන්) බලයට පැමිණි ඒ ශ්‍රාවකයෝද, යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද? (හිස්වූවාමය.)

සොභිත නම්වු උතුම් සම්බුදුරජතෙම සීහාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්හි ධාතු පැතිරවීම විය.

සොභිතස්ස භගවතො වංසො ඡට්ඨො.