සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

9. ආර්යශ්‍රාවක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයාහට මෙසේ අදහස් නොවෙයි. (කෙසේද?) කුමක් ඇති කළ කුමක් ඇතිවෙයිද, කුමක් ඉපදීමෙන් කුමක් උපදියිද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ ඇතිවෙත්ද? කුමක් ඇති කල්හි විඤ්ඤාණය ඇතිවේද? කුමක් ඇති කල්හි නාමරූප ඇතිවෙයිද? කුමක් ඇති කල්හි සළායතන ඇති වෙයිද? කුමක් ඇති කල්හි ස්පර්ශය ඇතිවෙයිද? කුමක් ඇති කල්හි වේදනා තොමෝ ඇතිවන්නීද? කුමක් ඇති කල්හි තණ්හා තොමෝ ඇතිවන්නීද? කුමක් ඇති කල්හි උපාදානය ඇතිවෙයිද? කුමක් ඇති කල්හි භවය ඇතිවෙයිද? කුමක් ඇති කල්හි ජාතිය ඇතිවෙයිද? කුමක් ඇතිකල්හි ජරා මරණය ඇතිවෙයිද? කියායි. මහණෙනි, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවකයා හට මෙහිදී ස්වකීය ඤාණයම ඇතිවෙයි. (කෙසේද?) මේ අවිජ්ජාව ඇති කල්හි මේ සංස්කාරයෝ ඇතිවෙත්. මේ සංස්කාරයන් ඇති කල්හි මේ විඤ්ඤාණය ඇතිවෙයි. විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි. නාමරූප ඇති කල්හි සළායතන ඇතිවෙයි. සළායතන ඇති කල්හි ස්පර්ශය ඇතිවෙයි. ස්පර්ශය ඇති කල්හි වේදනාව ඇතිවෙයි. වේදනාව ඇති කල්හි තණ්හාව ඇතිවෙයි. තණ්හාව ඇති කල්හි උපාදානය ඇතිවෙයි. උපාදානය ඇති කල්හි භවය ඇතිවෙයි. භවය ඇති කල්හි ජාතිය ඇතිවෙයි. ජාතිය ඇති කල්හි ජරාමරණය ඇතිවෙයි. මේ ලෝකය මෙසේ ඇතිවේයයි හෙතෙම මෙසේ දැනගනියි.

“මහණෙනි, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකයාට මෙසේ අදහස් නොවෙයි. කිමෙක්ද, කුමක් නැති කල කුමක් නිරුද්ධවෙයිද, කුමක් නිරුද්ධවීමෙන් කුමක් නිරුද්ධවේද, කුමක් නැති කල සංස්කාරය ඇතිනොවෙද්ද? කුමක් නැති කල්හි විඤ්ඤාණය ඇතිනොවේද, කුමක් නැති කල නාමරූප ඇතිනොවේද? කුමක් නැතිකල සළායතන ඇති නොවේද, කුමක් නැති කල ස්පර්ශය ඇති නොවේද, කුමක් නැතිකල වේදනාව ඇති නොවේද, කුමක් නැතිකල තණ්හාව ඇති නොවේද, කුමක් නැති කල උපාදානය ඇති නොවේද, කුමක් නැති කල භවය ඇති නොවේද, කුමක් නැති කල ජාතිය ඇති නොවේද, කුමක් නැති කල ජරාමරණය ඇති නොවේද කියායි.

“මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට ස්වකීය ඤාණය මෙහිදී ඇතිවෙයි. (කෙසේද?) මේ අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්. මේ සංස්කාර නැති කල මේ විඤ්ඤාණය ඇති නොවේ. විඤ්ඤාණය නැති කල නාම රූප ඇති නොවේ. නාමරූප නැති කල සළායතන ඇති නොවේ. සළායතන ඇති නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ. ස්පර්ශය ඇති නොවීමෙන් වේදනාව ඇති නොවේ. වේදනාව ඇති නොවීමෙන් තණ්හාව ඇති නොවේ. තණ්හාව ඇති නොවීමෙන් උපාදානය ඇති නොවේ. උපාදනය ඇති නොවීමෙන් භවය ඇති නොවේ. භවය ඇති නොවීමෙන් ජාතිය ඇති නොවේ. ජාතිය නැති කල ජරාමරණය ඇති නොවේය කියායි. මෙසේ මේ ලෝකය නැතිවේයයි ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ දැන, ගනියි.

“මහණෙනි, යම් කලක ආර්යශ්‍රාවක තෙම මෙසේ ලෝකයේ ඇතිවීමත්, නැතිවීමත්. ඇති පරිදි දැන ගනියිද, මහණෙනි, මේ ආර්යශ්‍රාවක තෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත වූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්ත වූයේයයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද, ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භුමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.”

(නවවන ආර්යශ්‍රාවක සූත්‍රය නිමි)