සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
7. මහා වර්ගය
2. අස්සුතවන්තු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) පෘථග්ජන තෙම සතර මහා ධාතුවෙන් ඇතිවූ, මේ කයට කලකිරෙන්නේද, නෑලෙන්නේද, එය අත්හරිනු කැමැති වන්නේද වෙයි. ඊට හේතුව කවරේද? මහණෙනි, මේ සතර මහා ධාතුවෙන් හටගත් මේ කයේ වැඩීමද, පිරිහීමද, ඇතිවීමද, නැතිවීමද පෙනෙයි. ඒ නිසා එහිදී අශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් නැති) පෘථග්ජන තෙම කලකිරෙන්නේද, නෑලෙන්නේද, අත්හරිනු කැමැතිවන්නේද වෙයි.
“මහණෙනි, යමක් සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, අශ්‍රැතවත් පෘථග්ජන තෙම ඒ සිතෙහි කලකිරීමට සමර්ථ නොවේ. නෑලීමට සමර්ථ නොවේ. අත් හැරීමට සමර්ථ නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් නැති) පෘථග්ජනයා විසින් මේ සිත මාගේය, මේ සිත මමය, මේ සිත මාගේ ආත්මයයි බොහෝ කලක් තිස්සේ (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) වැළඳ ගන්නා ලදී. (මාන වශයෙන්) මමායනය කරන ලදී. (දෘෂ්ටි වශයෙන්) අල්වා ගන්නා ලදී. ඒ නිසා එහි අශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් නැති) කලකිරීමට සමර්ථ නොවේ. නෑලීමට සමර්ථ නොවේ. අත්හැරීමට සමර්ථ නොවේ.
“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන තෙම සිතට වඩා මේ සතර මහා ධාතුවෙන් ඇතිවූ, කයම ආත්මය ලෙස සැලකීම හොඳය. ඊට හේතු කවරේද? මහණෙනි, සතර මහා ධාතුවෙන් හටගත්තාවූද, අවුරුද්දක් සිටින්නාවූද, දෑවුරුද්දක් සිටින්නාවූද, තුන් අවුරුද්දක් සිටින්නාවූද, සතර අවුරුද්දක් සිටින්නාවූද, පස් අවුරුද්දක් සිටින්නාවූද, දස අවුරුද්දක් සිටින්නාවූද, විසි අවුරුද්දක් සිටින්නාවූද, තිස් අවුරුද්දක් සිටින්නාවූද, හතළිස් අවුරුද්දක් සිටින්නාවූද, පනස් අවුරුද්දක් සිටින්නාවූද, හැට අවුරුද්දක් සිටින්නාවූද, හැත්තෑ අවුරුද්දක් සිටින්නාවූද, අසූ අවුරුද්දක් සිටින්නා වූද, අනූ අවුරුද්දක් සිටින්නාවූද, අවුරුදු සීයක් සිටින්නා වූද ඊට වැඩිය හෝ සිටින්නාවූද, මේ කය දක්නා ලැබෙයි. (එහෙයිනි) මහණෙනි, යමක් සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, ඒ සිත රෑද, දවල්ද, අනිකක් අනිකක්ම උපදියි. අනිකක් අනිකක්ම නිරුද්ධ වෙයි.
“මහණෙනි, එහිදී ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවක තෙම “පටිච්ච සමුප්පාදයම” මනාකොට නුවණින් කල්පනා කෙරෙයි. (කෙසේද?) මෙය ඇති කල්හි මෙය ඇතිවේ. මෙය උපන් කල්හි මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නැතිවේ. මෙය නිරුද්ධවූ කල්හි මෙය නිරුද්ධ වෙයි.
‘මහණෙනි, සැප වේදනාවට හේතුවූ ස්පර්ශය නිසා සැප වේදනා තොමෝ උපදින්නේය. ඒ සැප වේදනාවට හේතුවූ ස්පර්ශය නැසීමෙන්ම එයින් උපන් සැප වේදනාවට හේතුවූ ස්පර්ශය නිසා උපන් (යම්) සැප වේදනාවක් වීද, එය නැතිවේ. එය සංසිඳේ.
“මහණෙනි, දුක් වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා දුක් වේදනාව උපදී. ඒ දුක් වේදනාවට හේතුවූ, ස්පර්ශය නැසීමෙන් එයින් උපන්, යම් දුක් වේදනාවක් වීද, එය නැතිවේ. එය සංසිඳේ. මහණෙනි, නොදුක් නොසැප වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා නොදුක් නොසැප වේදනා තොමෝ උපදින්නීය. ඒ නොදුක් නොසැප වේදනාවට හේතුවූ, ස්පර්ශය නැසීමෙන්ම එයින් උපන්, ඒ නොදුක් නොසැප වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා උපන් යම් නොදුක් නොසැප වේදනාවක්වීද, එය නැතිවේ. එය සංසිඳේ.
“මහණෙනි, යම්සේ දරලී දෙකක් එක්කොට ඇතිල්ලීමෙන් උණුසුමක් ඇතිවෙයිද, රස්නයක් උපදියිද, ඒ දරලී දෙකම වෙන් කිරීමෙන්, දුරස්කොට තැබීමෙන් එයින් උපන් යම් උණුසුමක් වීද, එය නැතිවේ. එය නිවේ. මහණෙනි, එසේම සැප වේදනාවට හේතුවූ ස්පර්ශය නිසා උපන් යම් සැප වේදනාවක් වීද, එය නැතිවේ, එය සංසිඳේ.
“මහණෙනි, දුක් වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා දුක් වේදනාව උපදී. ඒ දුක් වේදනාවට හේතුවූ, ස්පර්ශය නැසීමෙන්ම එයින් උපන්, දුක් වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා උපන් යම් දුක් වේදනාවක්වීද, එය නැතිවේ. එය සංසිඳේ.
“මහණෙනි, නොදුක් නොසැප වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා නොදුක් නොසැප වේදනා තොමෝ උපදින්නීය. ඒ නොදුක් නොසැප වේදනාවට හේතුවූ, ස්පර්ශය නැසීමෙන්ම එයින් උපන්, නොදුක් නොසැප වේදනාවට හේතුවූ, ස්පර්ශය නිසා උපන් යම් නොදුක් නොසැප වේදනාවක් වීද, එය නැතිවේ. එය සංසිඳේ.
“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවක තෙම ස්පර්ශයට කලකිරෙයි. වේදනාවට කලකිරෙයි. සංඥාවට කලකිරෙයි. සංස්කාරයන්ට කලකිරෙයි. විඤ්ඤාණයට කලකිරෙයි. කලකිරීමෙන් නෑලෙයි. නෑලීමෙන් නිවණ ලබයි. එවිට නිවණ ලැබුවේයයි නුවණ ඇතිවෙයි. ඉපදීම අවසානය, බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුතු දේ කළේය, මේ ආත්මයේ කළයුතු තවත් දෙයක් නැතැයි දැනගනියි.”
(දෙවෙනි අස්සුතවන්තු සූත්‍රය නිමි.)