සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

3. පුත්‍ර මාංශ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවන සත්වයින්ට) උපකාර පිණිසද පවත්නාවූ මේ ආහාරයෝ සතරක් වෙත්. කවර සතරක්ද, දළවූ හෝ සියුම්වූ හෝ කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පළමුවැන්නය, ස්පර්ශාහාරය දෙවැන්නය, චේතනාහාරය තුන්වැන්නය, විඤ්ඤාණාහාරය සිව්වැන්නය. මහණෙනි, මේ සතරාහාරයෝ උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවෙන සත්වයින්ට) උපකාර පිණිසද වෙත්.

“මහණෙනි, කබළිංකාරාහාරය වනාහි කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ අඹුසැමි දෙදෙනෙක් වනාහි සුළු

මග වියදමක් ගෙන, කාන්තාර මාර්ගයකට පිළිපන්නාහුය. ඔවුන්ගේ ප්‍රියවූ, මනාපවූ, එකම දරුවෙක්ද වූයේය. මහණෙනි, පසුව කාන්තාර මාර්ගයේ ගමන්ගත් ඒ අඹු සැමි දෙදෙනාගේ යම් සුළු මගවියදමක් වීද, එය ක්ෂයවීමට, අවසන්වීමට යන්නේය. ඔවුන්ට කාන්තාරය තරණය කළ නොහැකිවූයේය, ඉතුරු වූයේද විය. මහණෙනි, ඉක්බිති ඒ අඹු සැමි දෙදෙනාට මේ අදහස ඇතිවූයේය. අපේ යම් සුළු මග වියදමක් වීද, එය වනාහි වියදම්වී අවසාන විය. මේ කාන්තාරයද අවසන් නොවූයේ, ඉතුරු විය. ඒකාන්තයෙන් අපි මේ ප්‍රිය මනාප එකම දරුවා මරා, ඝන තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු දෙදෙනාම මේ ඉතුරුවූ කාන්තාරය එතර කරන්නෙමු. නැතහොත් තුන්දෙනාම විනාශ වන්නෙමුය කියායි.

“මහණෙනි, අනතුරුව ඒ අඹු සැමි දෙදෙනා ඒ ප්‍රියවූ, මනාපවූ; එකම දරුවා මරා, ඝන-තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු, මෙසේ ඒ ඉතිරිවූ, කාන්තාරය එතර කරන්නාහුය. ඔවුහු පුත්‍රමාංශයද කමින් (අපේ) එකම පුතා කොහිද! (අපේ) එකම පුතා කොහිදැ!!යි කියමින් (ඔවුන්ගේ) පපුවටද ගසාගන්නාහුය. මහණෙනි, එය කුමකැයි කියා සිතන්නහුද? ඔවුහු සෙල්ලම් පිණිස හෝ ආහාර ගන්නාහුද, මද ඇතිවීම පිණිස හෝ ආහාර ගන්නාහුද, අලංකාරවීම පිණිස හෝ ආහාර ගන්නාහුද, සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහුද?” “ස්වාමීනි, ඒ එසේ නොවේ.”

“මහණෙනි, ඔවුහු යම්තාක් කාන්තාරය එතරකිරීම පිණිසම ආහාර ගන්නෝ නොවෙත්ද?” එසේය ස්වාමීනි.”

“මහණෙනි, කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) එසේ දතයුතුයයි මම කියමි.

“මහණෙනි, කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පිරිසිඳ දත් කල්හි පඤ්චකාමගුණ පිළිබඳවූ රාගය පිරිසිඳ දැනගන්නා ලද්දේ වෙයි. පඤ්චකාම ගුණ පිළිබඳ රාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් (බැඳුමකින්) බැඳුනු ආර්යශ්‍රාවක තෙම නැවත මේ ලෝකයට එන්නේද, ඒ සංයෝජනය (බැඳුම) නැතිවේ.

“මහණෙනි, ස්පර්ශාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ වනාහි හම නැති එළදෙනක් ඉදින්, බිත්තියක් ඇසුරුකොට සිටින්නේ නම්, (ඒ) බිත්තිය ඇසුරු කොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් ගසක් ඇසුරුකොට සිටින්නේ නම් (ඒ) ගස ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් වතුර ඇසුරුකොට සිටින්නේ නම් (ඒ) වතුර ඇසුරුකොට, යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් අහස ඇසුරු කොට සිටින්නේ නම්, (ඒ) අහස ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. මහණෙනි, යමක් ඇසුරුකොට ඒ හම නැති එළදෙන සිටින්නී නම්, ඒ දේ ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. මහණෙනි, ස්පර්ශාහාරය වනාහි එසේ දතයුතුයයි මම කියමි. මහණෙනි, ස්පර්ශාහාරය පිරිසිඳ දත් කල්හි ත්‍රිවිධ වේදනාවෝ පිරිසිඳ දැනගන්නා ලද්දාහුවෙත්. වේදනා තුන පිරිසිඳ දැනගත් කල්හි ආර්යශ්‍රාවකයාට මතු කිසි කළයුත්තක් නැතැයි කියමි.

“මහණෙනි, මනොසඤේචතනාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ මිනිසෙකුගේ උසටද වැඩිවූ ගිනිදැල් නැති, දුම් නැති, අඟුරින් පිරුණු, ගිනිඅඟුරු වලක් වේද, එවිට ජීවත්වෙනු කැමැති, නොමැරෙනු කැමැති, සැප කැමැති, දුක් පිළිකුල් කරන, පුරුෂයෙක් එන්නේය. ඒ ඔහු බලසම්පන්න පුරුෂයින් දෙදෙනෙක් (ඔහුගේ) දෑත වෙන වෙනම අල්ලාගෙන, ඒ අඟුරු වලට අදින්නාහුය. මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාගේ අදහස දුරුව යන්නේය. පැතුම දුරුව යන්නේය. ආශාව දුරුව යන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ පුරුෂයාට මේ අදහස ඇතිවේ. “මම මේ අඟුරු වලේ වැටෙන්නේ නම්, ඒ නිසා මරණයට හෝ මරණය සමාන දුකකට පත්වෙමි කියායි. මහණෙනි, මනෝ සඤ්චෙතනාහාරය එසේ දතයුතුයයි මම කියමි. මහණෙනි, මනොසඤ්චෙතනාහාරය පිරිසිඳ දත් කල්හි තෙවැදෑරුම් තණ්හාව පිරිසිඳ දැනගන්නා ලද්දාහු නම් වෙත්. තෙවැදෑරුම් තණ්හාව පිරිසිඳ දත් ආර්ය ශ්‍රාවකයාට මතු කිසි කළයුත්තක් නැතැයි කියමි.

“මහණෙනි, විඤ්ඤාණාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ වනාහි වැරදි කළ සොරෙකු අල්ලා ගෙන රජුට දක්වන්නාහුය. (කෙසේද?) ‘දේවයන් වහන්ස, මේ තෙමේ ඔබවහන්සේට වැරදි කළ සොරාය. මොහුට යම් දඬුවමක් කිරීමට කැමැත්තෙහි නම් දඬුවම් කිරීමට පණවනු (නියම කරනු) මැනවි, කියායි. එවිට රජතෙම ඔවුන්ට මෙසේ කියන්නේය. ‘පින්වත්නි, යව්. මේ පුරුෂයාට පෙරවරු කාලයෙහි සැත් (ආයුධ) සියයකින් හිංසා කරව්යයි’ කියායි. පෙරවරු කාලයෙහි සැත් සියයකින් ඔහුට හිංසා කරන්නාහුය. ඉක්බිති රජතෙම මැදියම් කාලයෙහි මෙසේ කියන්නේය. ‘පින්වත්නි, ඒ පුරුෂතෙම කෙසේදැයි කියායි. දේවයන්වහන්ස, එසේම ජීවත්වෙයි’. ඔවුන්ට රජතෙමෙ මෙසේ කියන්නේය. ‘පින්වත්නි, යව්. ඒ පුරුෂයාට මැදියම් කාලයෙහි ආයුධ සියයකින් හිංසා කරව්යයි’ කියායි. මැදියම් කාලයෙහි ආයුධ සියයකින් ඔහුට හිංසා කරන්නාහුය. ඉක්බිති රජතමෙ සවස් කාලයෙහි මෙසේ කියන්නේය. ‘පින්වත්නි, ඒ පුරුෂතෙම කෙසේදැයි’ කියායි. ‘දේවයන් වහන්ස, එසේම ජීවත්වෙයි’. ඔවුන්ට රජතෙම මෙසේ කියන්නේය. ‘පින්වත්නි, යව්. ඒ පුරුෂයාට සවස් කාලයෙහි ආයුධ සියයකින් හිංසා කරව්යයි’ කියායි. සවස් කාලයෙහි ඔහුට ආයුධ සියයකින් හිංසා කරන්නාහුය.

“මහණෙනි, ඒ ගැන කෙසේ සිතන්නද? දවසක් තුන්සියයක් ආයුධවලින් හිංසා කරනු ලබන්නාවූ, ඒ පුරුෂ තෙම ඒ හිංසාකිරීමේ හේතුවෙන් දුකක් දොම්නසක් විඳින්නේද”? “ස්වාමීනි, එක් ආයුධයකින් හිංසා කරනු ලබන්නේ ඒ හිංසා කිරීම් හේතුවෙන් දුකක් දොම්නසක් ලබන්නේය. ආයුධ තුන්සියයකින් හිංසා කරනු ලබන්නේ වනාහි කියනුම කවරේද?” “මහණෙනි, විඤ්ඤාණාහාරය වනාහි එසේ දතයුතුයයි මම කියමි. මහණෙනි, විඤ්ඤාණාහාරය පිරිසිඳ දැනගත් කල්හි නාමරූප පිරිසිඳ දැනගන්නා ලද්දේ වෙයි. නාමරූප පිරිසිඳ දත් කල්හි ආර්ය ශ්‍රාවකයාහට මතු කිසි කළ යුත්තක් නැතැයි” කියමි.

(තෙවෙනි පුත්‍රමාංශ සූත්‍රය නිමි.)