සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

1. සගාථ වර්‍ගය

4. පාතාල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම මහා සමුද්‍රයෙහි පාතාලයක් (පතුලක් නැති තැනක්) ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ඒ නැති අවිද්‍යාමාන වූවක් ගැන මහා සමුද්‍රයෙහි පාතාලයක් ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, යම් මේ පාතාල යන වචනයක් වේද, එය ශාරීරික දුකඛ වේදනාවන්ට නමකි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ශාරීරික දුකඛ වේදනාවෙන් ස්පර්‍ශවන ලද්දේ ශොක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවට ගසමින් අඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. පිහිටීමකට නොපැමිණියේය.

’’මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශාරීරික දුකඛ වේදනාවෙන් ස්පර්‍ශවූයේ ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවට ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාතාලයෙන් නැගිට්ටේය. පිහිටීමකට පැමිණියේය.

යමෙක් තෙම යමකින් ස්පර්‍ශ කරණ ලද්දේ වෙවුලාද, ශාරීරිකවූ, ප්‍රාණය පැහැරගන්නාවූ උපන් මේ දුකඛ වේදනාවන් නොඉවසයිද,

වීර්‍ය්‍ය මඳවූ දුර්‍වලවූ හෙතෙම හඬයි, විලාප කියයි, හෙතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. තවද පතුලටද නොපැමිණියේය.

යමෙක් තෙම යමකින් ස්පර්‍ශ කරණ ලද්දේ නොවෙවුලාද, ශාරීරිකවූ ප්‍රාණය පැහැරගන්නාවූ උපන් දුකඛ වේදනාවන් ඉවසාද, හෙතෙම ඒකාන්තයෙන් පාතාලයෙන් නැගිට්ටේය. පතුලටද පැමිණියේය.,