සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

4. පටිපත්ති වර්ගය

4. පාරංගම සූත්‍රය

“මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙනෙක් සසරින් එතෙරට යාම පිණිස පවතිත්. කවරනම් ධර්ම අටක්ද?

“ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්ම අට සසරින් එතරට පැමිණීම පිණිස පවතිත්යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා අනතුරුව සුගතයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක.

“මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් එතෙරට පැමිණෙන්නාහුද ඔව්හු ස්වල්ප දෙනෙකි. එයින් අන්‍යවූ ප්‍රජාව සසරම ඇවිදින්නීය.”

“යම් කෙනෙක් මනාකොට වදාළ ධර්මයෙහි ඒ ධර්යට අනුව පවතින්නාහුද ඔව්හු එතෙරවීමට දුෂ්කරවූ මරුවාට අයත්වූ මේ ලෝකයෙන් එතරට පැමිණෙන්නාහුය.”

“නුවණැති පුරුෂතෙමේ සසරින් එතෙරව නිවන් පැමිණෙනු පිණිස අකුශල ධර්ම දුරුකොට කුශල ධර්ම වඩන්නේය. කැමතිවීමට දුෂ්කරවූ නිවනෙහි කැමැත්ත උපදවන්නේය. පණ්ඩිතතෙමේ කාමයන් දුරුකොට පලිබොධ රහිතවූයේ තමන්ගේ සිත නීවරණයන්ගෙන් පිරිසිදු කරන්නේය.”

“යමෙකුගේ සිත ධර්මයන් විෂයෙහි මනාකොට වඩන ලද්දේද සතර උපාදානයන්ගෙන් අල්වා නොගෙන උපාදානයන් දුරුකළාවූ නිවනෙහි ඇලුනේද එබඳු අනුභාව ඇති ආශ්‍රව රහිත උත්තමයෝ පිරිනිවියාහු වෙත්” යයි වදාළේය.