සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
4. අයොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමයෙහි ආශාවද බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ක්‍රොධයද උපදියි. උපන්නාවූ ක්‍රොධයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ථින මිද්ධයද (සිතේ හා චෛතසිකයන්ගේ අලසකම) උපදියි. උපන්නාවූ ථින මිද්ධයද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම (උද්ධච්චකුක්කුච්චය) උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීමද මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ බුද්ධාදි අට තැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයද නූපදියි උපන්නාවූ සති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නූපදියි උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නැතිවෙයි නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නැතිවෙයි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය නූපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. නූපන්නාවූ ව්‍යාපාදය නූපදියි. උපන්නාවූ ව්‍යාපාදය ප්‍රහීණවෙයි. නූපන්නාවූ ථිනමිද්ධය නූපදියි. උපන්නාවූ ථින මිද්ධය ප්‍රහීණවෙයි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය නූපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවෙයි. නූපන්නාවූ විචිකිච්ඡාව නූපදියි. උපන්නාවූ විචිකිච්ඡාව ප්‍රහීණවෙයි. නූපන්නාවූ සති බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි” යනුයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.