ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

7. සකචින්තනිය වග්ග

4. පරප්පසාදක ථෙරාපදානය

’’ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ, වීරවූ, මහර්ෂිවූ, කෙළෙස් සතුරන් ජයගන්නා සුළුවූ, ස්වර්‍ණවර්‍ණවූ බුදුරජුන් දැක කවරෙක් (නම්) නොපහදීද?

’’ප්‍රමාණකළ නොහැකි හිමවත් පව්ව යම් සේද, තරණයකළ නොහැකි සාගරය යම් සේද, බුදුරජාණන් වහන්සේගේ ධ්‍යානයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?

’’ප්‍රමාණ කළ නොහැකි පෘථිවිය යම් සේද, බුදුරජාණන් වහන්සේගේ ශීලයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?

’’නොකැළඹිය හැකි සයුර යම් සේද, පමණකළ නොහැකි අහස යම් සේද, බුදුරජාණන් වහන්සේගේ කාරණයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?

’’සෙන නම්වූ බ්‍රාහ්මණ තෙමේ මේ සිව් ගයින් සිද්‍ධාර්ත්‍ථ නම් පස් මරුන් දිනූ බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට ස්තූතිකොට,

’’සිව් අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේය. සුගතීන්හි බොහෝවූ මනා සම්පත් අනුභව කෙළේය.

’’මෙයින් සිව් අනූවන කපෙහි ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේට පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.

’’තුදුස්වන කපෙහි සත් රුවණින් යුත් මහත් බල ඇති ’උග්ගත’ නම් සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පරප්පසාදකත්ථෙරස්සාපදානං චතුත්ථං.