ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
7. සකචින්තනිය වග්ග
7. වත්‍ථදායක ථෙරාපදානය
’’(මම) පක්‍ෂි යෝනියෙහි උපන්නේ ගුරුළනට අධිපතිවූ ගුරුළු රජෙක් වීමි. එකල්හි බැහැරකළ කෙළෙස් රජස් ඇති ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නාවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
’’(දැක) ගුරුළු වෙස් හැර මානවක වෙසක් දැරීමි. තාදී ගුණ ඇති, විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේට මා විසින් එක් වස්ත්‍රයක් දෙන ලදී.
’’ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මෙම ගාථාවන් දෙසූ සේක.
’’මේ වස්ත්‍ර දානය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද ගුරුළු බව අත්හැර දෙව්ලොව සිත් අලවා වාසය කරන්නේය.
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම වස්ත්‍ර දානයට පසසා, උතුරු දිගට මුහුණලා වැඩි සේක.
’’භවයෙහි උපදින කල්හි මට වස්ත්‍ර සම්පත් (ඇති) වේ. අහසෙහි වියනක් ඇති වේ. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපතිවූ, මහත් බල ඇති, ’’අරුණක’’ නම් ඇති සක්විති රජවරුන් සත් දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වත්ථදායකත්ථෙරස්සාපදානං සත්තමං.