ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
7. සකචින්තනිය වග්ග
8. අම්බදායක ථෙරාපදානය
’’(හිමවත්) පර්‍වතාන්තරයෙහි වැඩහුන් අනෝමදස්සි බුදුරජතෙම අප්‍රමාණවූ (සත්ත්‍ව) ලෝකයෙහි උපධි විරහිත කොට මෛත්‍රීය පැතිරවූ සේක.
’’එකල්හි මම එම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමකවූ, අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක (ඒ) බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
’’එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් ආම්‍ර ඵලයෝ (අඹ) වුහ. ඉන් අඹ ගෙඩියක් මී වදයක් සහිතව ගෙන බුදුරජාණන් වහන්සේට දුනිමි.
’’අනොමදස්සී බුදුරජාණන් වහන්සේ මට ඒ (මේ අදහස) ප්‍රකාශ කළ සේක. (කෙබඳු අදහසක්ද යත්?) ’’මේ මීවද දානයෙන්ද, අඹ දානයෙන්ද, යන දෙකින් (මේ තෙම) සත් පණස් කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. සෙසු කල්පයන්හි (දිව්‍ය-මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර වශයෙන් සැරිසරන්නේය.
’’පිරිසිදු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙළෙස් දවන්නේය’’ කියායි.
’’මහර්ෂීන් වහන්සේ විසින් මම උත්තමවූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
’’සත් දහස් සත්සිය වන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අම්බදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.