ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
7. සකචින්තනිය වග්ග
10. පුප්ඵචඞ්ඝොටිය ථෙරාපදානය
’’උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහ රාජයෙකු මෙන්ද, පක්‍ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨවූ ගුරුළෙකු මෙන්ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන්ද,
’’කෙළෙස් රහිතවූ, පසු මරුන් දිනුවාවූ, ශ්‍රමණයනට අග්‍රවූ, භික්‍ෂු සංඝයා පරිවරා හුන් තිලොවට පිළිසරණවූ සිඛී බුදුරජාණන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා, ගොටුවද සමග පිදීමි.
’’විපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන ජය-පරාජය දෙකම හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
’’මින් තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයයි.
’’තිස් කපක් සම්පූර්‍ණවූ කල්හි සත්රුවණින් යුත් දේවභූති නම් සක්විති රජවරු පස් දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵචඞ්ගොටිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුප්ඵචඞ්කොටියත්ථෙරස්සාපදානං දසමං.
සකචින්තනියවග්ගො සත්තමො.