ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

8. නාගසමාල වග්ග

1. නාගසමාල ථෙරාපදානය

’’මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීථියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිඛී බුදුරජුන්ගේ ස්ථූපයෙහි ආදර සහිතව පළොල් මලක් ගෙන තැබීමි.

’’මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදිනිම. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ’’භූමිය’’ නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නාගසමාලත්ථෙරස්සාපදානං පඨමං.