ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

8. නාගසමාල වග්ග

10. තිපදුමිය ථෙරාපදානය

’’සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය, දමනයවූ, දමනය වූවන් විසින් පිරිවරණ ලද, පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ නුවරින් නික්මුණු සේක.

’’එකල්හි මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (ඔහු ගෙනයන මල් රැසෙහි) යම් උතුම් මල් වීද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත් මල් තුනක් හැරගතිමි.

’’ඇතුළු වීථියෙහි පෙරමගට එන කෙළෙස් රජස් විරහිත බුදුරජාණන් වහන්සේ දුටිමි. එකල්හි ඒ මම බුදුරජාණන් වහන්සේ දැක මෙසේ සිතීමි. (කෙසේද යත්?)

’’රජුට පිරිනමණ ලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජනද (ඉදින් ප්‍රයෝජනයක් වෙතොත්) මම ගමක් හෝ, ග්‍රාමක්‍ෂෙත්‍රයක් හෝ, දහසක් හෝ ලබන්නෙමි.

’’නොදැමුනවුන් දමනය කරන්නාවූ, ප්‍රාඥවූ, සියළු සතුන්ට සැප එලවන්නාවූ බුදුරජාණන් වහන්සේ (මේ මලින්) පුදා අමෘත ධනය (නිවණ) ලබන්නෙමියි කියායි.

’’මම මෙසේ සිතා සිය සිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුනක් ගෙන අහසෙහි දැමීමි.

’’මා විසින් උඩට දමන ලද කෙණෙහි එම මල් අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහිවූ එහි නැටි උඩුකුරුව, මල් යටිකුරුව (අහසෙහි) දැරුවාහුය.

’’යම්කිසි මිනිස් කෙනෙක් (එය) දැක මහා සාදු නාද පැවැත්වූවාහුද (එසේම) අහසෙහි දෙවියෝද සාධු නාද පැවැත්වූහ. (කෙසේදයත්?)

’’බුදුරජාණන් වහන්සේ නිසා ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය දැය පහළවිය. අපි සියල්ලෝ උන්වහන්සේට මල් පිදීම හේතුකොට ධර්‍මය අසන්නෙමුය කියායි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවන් (රැස්වීමට) ගෙයක් වැනිවූ, වීථියෙහි වැඩ සිටි ශාස්තෲවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

’’යම් ඒ මානවකයෙක් තෙම, රත් පියුම්වලින් බුදුරජාණන් වහන්සේ පිදීද, මම හේ කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවු මාගේ වචනය අසව්.

’’(මෙතෙම) කප් තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’එකල්හි තුන්සියයක් යොදුන් උස ඇති, එක් සිය පණස් යොදුන් පුළුළ ඇති, මහා විත්‍ථාරක නම් (සඳළු සහිත) විමනක් (පහළ) වන්නේය.

’’එහි සුනිර්මිත ද්වාරයෝ හාරලක්‍ෂයක් වෙති. කුළු ගෙවලින් යුක්තයහ. මහා සයනයන්ගෙන් නිමවන ලදහ.

’’නෘත්‍ය ගීතයන්හි දක්‍ෂ, වාදනයෙහිද හුරුපුරුදු කෙළලක්‍ෂයක් අප්සරාවෝ පිරිවරන්නාහුය.

’’දිව්‍යප්සරා සමුහයා විසින් ගැවසීගත් මෙබඳු උතුම් විමනෙහි හැමකල්හි දිව්‍යමයවූ ලෙහෙවන් මල් වැසි වසී.

’’එකල්හි තොරන්හිද, උළුවසුවලදවූ, බිත්තියෙහිවූ ඇණවල දීද, එබඳුමවූ කොකුවලද, චක්‍ර ප්‍රමාණවූ ලෙහෙවන් පුෂ්පයෝ එල්බෙන්නාහුය.

’’එකල්හි මේ මල් පෙත්තෙන් පෙත්ත වැසෙනසේවූ විමානය තුළ (එම මලින්ම කළ ඇතිරි) අතුරාද (පොරෝනා) පොරොවාද හෝනාහුය.

’’භවයනය වටා හාත්පස යොදුන් සියයක් ඒ පිරිසිදු ලෙහෙවන් පුෂ්පයෙන් දිව සුවඳ පතුරුවත්.

’’පන් සැත්තෑවරක් සක්විති රජ වන්නේය. මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිනිය නොහැකියි.

’’දිව්‍ය-මනුෂ්‍ය ද්විවිධ සම්පත් අනුභවකොට උවදුරු රහිතවූයේ පශ්චිම භාවය පැමිණි කල්හි නිවණ පහස්නේය. (අවබෝධ කරන්නේය, කියායි.)

’’මා විසින් බුදුරජාණන් වහන්සේ මැනවින් දක්නා ලදී. වණික් කර්‍මය මැනවින් යොදන ලදී. තුන් පියුමක් පුදා (දිව්‍ය, මනුෂ්‍ය, නිර්‍වාණ යන) ත්‍රිවිධ සම්පත්තිය අනුභව කෙළෙමි.

’’අද නිවාණ ධර්‍මයට (සාක්‍ෂාත් කිරීම් වශයෙන්) පැමිණියාවූ සර්‍වාකාරයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනාවූ, මාගේ හිස මතුයෙහි මැනවින් පිපුනු ලෙහෙවන් පියුමක් දරන්නේය.

’’පදුමුත්තර බුදුරජ තෙම මාගේ කර්‍මය ප්‍රකාශ කරණ කල්හි සත්දහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය.

’’මින් සියක් දහස්වන කපෙහි බුදුරජාණන්හට යම් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පියුම් තුන පිදීමේ ප්‍රථිඵලයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තිපදුමියත්ථෙරස්සාපදානං දසමං.

නාගසමාලවග්ගො අට්ඨමො.