ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

4. අධොපුප්ඵිය ථෙරාපදානය

’’සිඛී නම් බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකවූ, මහානුභාව ඇති, ත්‍රිවිද්‍යාවෙන් යුත් අභිභූ නම් ඒ භික්‍ෂුතෙමේ හිමවතට එළඹියේය.

’’එකල්හි මම අප්‍රමාණ ආරම්මණයන්හිද, ඎද්‍ධීන්හිද වශ යටපත් ඎෂියෙක් වූයේ රමණීය අසපුවක වසමි.

’’මම (උන්වහන්සේ විසූ) කඳු පහළින් මල් ගෙන පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්‍ෂියෙකු මෙන් පර්‍වතයට නැංගෙමි.

’’මල් සතක් ගෙන මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිරවීමි. වීරවූ අභිභූ ශ්‍රාවකයන් වහන්සේ විසින් ඒ (දෙස) බලන කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.

’’(එහිදී) ඝොර ස්වරූපවූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළීය. පෙර කළ (ඒ පුෂ්ප පූජා) පුණ්‍ය කර්‍මය සිහි කොට (මම) එහිම කළුරිය කෙළෙමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධොපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අධොපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.