ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

5. රංසි සඤ්ඤක ථෙරාපදානය

’’මම පෙර හිමවත් පව්වෙහි වාසය කෙළමි. අඳුන් දිවි සම් උතුරු සළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.

’’සියක් රැස් ඇති හිරු වැනිවූද, සුපුෂ්පිත සල් රුකක් වැනිවූද, වනගතවූ ස්වර්‍ණ වර්‍ණ බුදුරජාණන් වහන්සේ දැක,

’’විපස්සී බුදුරජාණන් වහන්සේගේ රශ්මියෙන් සිත පහදවා මම ඇඳිලි බැඳ, උක්කුටිකව හිස නමා වැන්දෙමි.

’’මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්‍ය) කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. රශ්මි සංඥාවෙහි (පැහැදීමේ) මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසි සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

රංසිසඤ්ඤකත්ථෙරස්සාපදානං පඤ්චමං.