ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
2. එකු පොසථිකා වග්ග
2. සලල පුප්ඵිකාපදානය
’’එකල්හි මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. මම සක්මන් කරන්නාවූ, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දුටිමි.
’’මම සලල මල් නෙලා, ’’මහා වීරයන් වහන්සේ දිව සුවඳ ඇති සලල මල් සිඹිනු මැනවැ’’ යි බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
’’මහාවීරවූ, ලෝකනායකවූ විපස්සී බුදුරජතෙම එය පිළිගෙන, එකල්හි මා බලා සිටියදීම ආඝ්‍රාණය කළ සේක.
’’ඇඳිලි බැඳ බුදුරජුන්හට වැඳ, සිය සිත පහදවා ඉක්බිති පර්‍වතයට නැංගෙමි.
’’මින් (පෙර) එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් සලල පුප්ඵිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.