ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
2. එකු පොසථිකා වග්ග
7. මහා ප්‍රජාපතී ගොතමී පදානය
’’එක් කලෙක ලොව බබුළුවන්නාවූ, නරදම්සැරිවූ බුදුරජාණන් වහන්සේ විශාලා නගරයෙහි මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
’’එකල්හි බුදුරජුන්ගේ සුළුමවවූ මහා ප්‍රජාපතී භික්‍ෂුණීතොමෝ එම විශාලා නගරයෙහි කරණ ලද රම්‍යවූ භික්‍ෂුණී අසපුවක විසුවාය.
’’රහත්වූ පන් සියයක් භික්‍ෂුණීන් සමග හුදකලාව (විවේකයෙන්) විසූ එම ප්‍රජාපතී ගොතමියගේ සිතට මෙබඳු අදහසක් ඇතිවිය.
’’මම බුදුරජුන්ගේ හෝ, අගසව් දෙනමගේ හෝ, රාහුල-ආනන්‍ද- නන්‍ද යන සව්වන්ගේ හෝ පිරිනිවන දකින්නට නොලබන්නෙමි.
’’බුදුරජුන්ගේද, අගසව් දෙනමගේද, මහා කාශ්‍යප, නන්‍ද-ආනන්‍ද, රාහුල යන මේ සව්වන්ගේද පරිනිර්‍වාණයෙන්,
’’පෙරාතුවම බුදුරජුන් විසින් අනුදන්නා ලද්දීවූ මම ආයුසංස්කාරය හැර නිවනට යන්නෙමි’’ ය (කියායි.)
’’පන්සියයක් භික්‍ෂුණීන්ගේ අදහසද මෙබඳුම විය. ඛෙම ආදී භික්‍ෂුණීන්ගේ අදහසද මෙයම විය.
’’එකල්හි භූමිකම්පාවක් විය. දිව බෙර නාද කළහ. භික්‍ෂුණී අසපුවෙහි අධිගෘහිතවූ, ශෝකයෙන් පෙළුනාවූ දෙවිවරු දුක් සහිතවම හඬන්නාහු එහි කඳුළු හෙලූහ.
’’ඒ මිත්‍රවූ භික්‍ෂුණීහු ගෝතමිය වෙත එළඹ හිසින් පාමුල වැටී මෙම වචනය කීහ.
’’ආර්‍ය්‍යාවෙනි, දියබිඳු ඉසින ලද්දාක් වැනිවූ හෙවත් සිසිල් බැවින් කායික අස්වැසිලි ලැබූ අපි එම අසපුවෙහි විවේකයෙහි යෙදුනේ වෙමු. (එකල්හි) නිශ්චලවූ පෘථිවිතොමෝ චලනය වූවාය. දිව්‍ය භෙරීහු වාදනය කරන ලදහ. හැඬීම්ද ඇසෙත්. ගෝතමීන් වහන්ස, ඒකාන්තයෙන් මෙය කුමක් සඳහා වූවක්ද?
’’එකල්හි ඒ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ සිතන ලද පරිදි සියල්ලක් කීවාය. ඒ සියළු භික්‍ෂුණීහුද තම තමන් සිතන ලද පරිදි කීවාහුය.
’’මනා ව්‍රත ඇති ආර්‍ය්‍යයන් වහන්ස, ඉදින් ශාන්තියවූ උතුම් නිවන (ලැබීම) ඔබ වහන්සේගේ රුචිය නම් බුදුරජාණන් වහන්සේගේ අනුමතිය පරිදි (අපි) සියල්ලෝම පිරිනිවන් පාන්නෙමු.
’’අපි ගිහිගෙහිනුදු, භවයෙනුදු, එක්වම නික්මුනෝ වෙමු. උතුම්වූ නිවන් පුරයටද එක්වම යන්නෙමු’’ ය (කියායි.)
’’ඒ ප්‍රජාපතී ගෝතමී තොමෝ, ’’නිවනට යන්නියන්හට කුමක් කියන්නෙම්දැ’’ යි තෙපලමින් එකල්හි (ඒ) සියළු භික්‍ෂුණීන් සමග අසපුවෙන් නික්මුණාය.
’’භික්‍ෂුණී අසපුවෙහි අධිගෘහිත යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔවුහු මට කමත්වා! භික්‍ෂුණී අසපුවෙහි මාගේ මේ අන්තිම දැකුමයි.
’’යම් තැනෙක්හි ජරාවක් නැද්ද, මරණයක් නරද්ද, අප්‍රියයන් හා එක්වීමක් නැද්ද, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැද්ද, ඒ අසංඛත ධාතුවවූ නිවනට යන්නෙමි.
’’(රහත්බවට නොපැමිණි බැවින්) අවීතරාගීවූ බුද්ධපුත්‍රයෝ එම වචනය අසා සොවින් පෙළුනාහු, ’’අහෝ අපගේ පින් මඳ බවකැ’’ යි කියමින් හැඬූහ.
’’එම භික්‍ෂුණීන්ගෙන් තොරවූ, මෙම භික්‍ෂුණී අසපුව හිස් විය. බුද්ධපුත්‍රයෝ අළුයම්හි තාරකාවන් මෙන් (බැබලීම් සහිතව) නොපෙනෙත්.
’’ගඞ්ගාතොමෝ පන්සියයක් නදීන් සමග සයුරට යන්නාක් මෙන් ගෝතමී තොමෝ පන්සියයක් භික්‍ෂුණීන් සමග නිවනට යන්නිය’’ යි රහත් නොවූවහු හැඬූහ.
’’වීථියෙහි වඩින්නාවූ ගෝතමිය දැක සැදැහැවත් උවැසියෝ ගෙවලින් නික්ම (අවුත්) පාමුල්හි වැටී මෙම වචනය කීහ.
’’සප්තාර්‍ය්‍යධන නම්වූ මහත් භෝග ඇති උත්තමාවෙනි, (තව කලක් වැඩ සිටීමට) සතුටුවනු මැනව. අතහැර දමා (යාමෙන්) අපි අනාථවූ ස්ත්‍රීහු වෙමු. තී පැරිනිවන් පෑමට නුසුදුසුය.’’ (දුකින්) පෙළෙමින් ඒ උවැසියෝ විලාප කීවාහුය.
’’එම උවැසියන්ගේ ශෝකය දුරුකරණු සඳහා (ගෝතමී තොමෝ) මිහිරි වචනයෙන් මෙසේ කීවාය. ’’දරුවෙනි, හැඬීමෙන් කම් නැත. මේ අද තොපගේ සතුටු විය යුතු කාලයයි.
’’මා විසින් දුක පිරිසිඳ දැනගන්නා ලදී. දුකට හේතුව දුරුකරන ලදී. නිවන අවබෝධ කරණ ලදී. මාර්‍ගයද මැනවින් වඩන ලදී.
පළමුවැනි බණ වරයි.
’’මා විසින් ශාස්තෘතෙම ඇසුරු කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ (සසර) බර බහා තබන ලදී. භව තෘෂ්ණාව විනාශ කරණ ලදී.
’’යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වුවද, මා විසින් පැමිණෙන ලද එම අර්ත්‍ථය ඇත්තේය. (මම) සියලු සංයෝජනයන් ක්‍ෂයකෙළේද වෙමි.
’’බුදුරජතෙමේද උන්වහන්සේගේ සද්ධර්‍මයද යම්තාක් සම්පූර්‍ණව පවතී නම්, ඒතාක් කල් මාගේ පිරිනිවීමට කාලයයි. දැරියෙනි, මා ගැන ශෝක නොකරව්.
’’ඔසවා තබනලද ඔක්කාක වංශයාගේ කීර්තිය ඇති, මාර බලය මඩින්නාවූ සුඛිත සංඝයා සහිතවූ බුදුරජතෙමේද, රාහුල තෙමේද, තීර්ත්‍ථකයින්ගේ එඩි මඩින්නාවූ කොණ්ඩඤ්ඤ, ආනන්‍ද, නන්‍ද ආදීහුද වැඩ සිටිත්. දැරියෙනි, දැන් මාගේ පරිනිර්‍වාණය පිණිස කාලය නොවේද?
’’බොහෝ කලක පටන් මා විසින් යමක් පතන ලද නම් අද (එය) සමෘද්‍ධවේ. මෙය සන්තෝෂ භෙරිය (ගසන) කාලයයි. දැරියෙනි, තොපගේ කඳුළු හෙලීමෙන් කවර ප්‍රයෝජනද?
’’ඉදින් මා කෙරෙහි දයාවක් ඇත්නම්, ඉදින් කෙළෙහිගුණ සැලකීමක් ඇත්නම් සසුනෙහි පැවැත්ම පිණිස සියල්ලෝ දැඩිසේ වීර්‍ය්‍ය කරව්.
’’මා විසින් (ස්ත්‍රීන්හට පැවිද්ද දීම සඳහා) සම්බුදුරජතෙම අයදින ලදී. (එසේම එම තථාගත තෙම) ස්ත්‍රීන්හට පැවිද්ද දුන් සේක. එහෙයින් යම්සේ මම සතුටුවන්නෙම්ද, එසේම එම ධර්‍මයට අනුව සිටිව්.’’
’’භික්‍ෂුණීන් විසින් පිරිවරන ලද ඒ ගෞතම තොමෝ මෙසේ අනුශාසනා කොට බුදුරජුන් වෙත එළඹ මෙම වචනය කීවාය.
’’සුගතයන් වහන්ස, මම ඔබ වහන්සේගේ මව් තොමෝය. (තවද) වීරයන් වහන්ස, ඔබ මාගේ (අර්හත් මාර්‍ග ඥානය ඉපදවීමෙහි) පිය තෙමේය. නාථයන් වහන්ස, (ඔබ) සදහම් නමැති සුවය දෙන්නේ(වෙහිය.) ගෞතම ගෝත්‍ර ඇත්තාවූ සුගතයන් වහන්ස, ඔබ උපන් කල්හි මා විසින් ඔබගේ මේ රූපාකාරය වඩන ලදී. ඔබ වහන්සේ විසින් මාගේ ප්‍රශංසාවට සුදුසු ධර්‍ම ශරීරය වඩන ලදී.
’’මා විසින් මොහොතක් (ක්‍ෂුධා) තෘෂ්ණාව සන්සිඳුවන්නාවූ කිරි ඔබවහන්සේට පොවන ලදී. ඔබවහන්සේ විසින් මම අතිශයින් ශාන්තවූ දහම් නමැති කිරි පොවන ලද්දී වෙමි.
’’මහා මුනීන් වහන්ස, ඔබ වැඩීමෙහි හා රැකීමෙහි මට ණය නැත්තේවෙහිය. පුතුන් කැමැත්තාවූ යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් (ඔබ යම්සේද) එබඳුවූ පුතෙකු ලබත්වා!
’’මන්ධාතු ආදී රජවරුන්ගේ යම් මවක් වූවා නම් ඕතොමෝ භව සාගරයෙහි ගැලුනීය. පුතණුවන් වහන්ස, ඔබ විසින් මම භව සයුරින් එතරකරණ ලද්දී වෙමි.
’’ස්ත්‍රීන්හට රාමාතාවය, මෙහෙසිය යන නම් පහසුවෙන් ලැබිය හැකිය. බුද්ධමාතාවය යන මේ නමක් වේ නම් මෙය ලැබීම අතිශයින් අපහසුය.
’’වීරයන් වහන්ස, මා විසින් එයද ලබන ලදී. ඔබ කරණකොටගෙන මාගේ කුඩාවූද, මහත්වූද ඒ සියළු පැතුම් මා විසින් සම්පූර්‍ණ කරණ ලදී.
’’මේ සිරුර හැර නිවණට කැමැති වෙමි. දුක් කෙළවර කරන්නවුන් වහන්ස, ලෝක නායකයන් වහන්ස, වීරයන් වහන්ස, මට පිරිනිවණට අනුදැන වදාළ මැනව.
’’චක්‍ර, අංකුස, ධජ යන මේ ලකුණුවලින් ගැවසීගත් පියුමක් මෙන් මොලොක්වූ (දෙ)පා දිගු කළ මැනව. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව ඔබට ප්‍රණාමය කරන්නෙමි.
’’රන් රැසක් මෙන් බබලන සිරුර ප්‍රකට කළ මැනව. (ලෝක) නායකයන් වහන්ස, ඔබ වහන්සේගේ සිරුර මැනවින් දක්නා ලද්දක් කොට නිවණට යන්නෙමි’’
’’බුදුරජතෙම දෙතිස් ලකුණින් යුතු, මනා පැහැයෙන් අලංකාඑවූ සිරුර, සැඳෑ වලාවකින් නික්මුණු තරුණ සූර්‍ය්‍යයා මෙන් සුළු මවට දැක්වීය.
’’ඉක්බිති පිපුණු පියුමක් මෙන් බබලන තරුණ සූර්‍ය්‍යයා මෙන් ප්‍රභාවත්වූ, සක් ලකුණින් යුතු පාද තලයෙහි ඕ තොමෝ හිසින් වැටුනාය.
’’සූර්‍ය්‍ය වංශයට ධජයක් වැනිවූ, හිරු මෙන් (තෙදවත්) නරශ්‍රේෂ්ඨයන් වඳිමි. මාගේ (මේ) අන්තිම මරණයෙහි මම නැවත එබඳු මරණයක් ගැන නොසලකමි.
’’ලෝක නායකයන් වහන්ස, සත්‍රීහු නම් සියළු දොස් (ඇති) කරන්නාහුයයි දක්නා ලදහ. කරුණාවට ආකරයක් බඳු බුදුරජාණන් වහන්ස, ඉදින් මාගේ කිසියම් දොසක් ඇත්නම් ක්‍ෂමා කරණ සේක්වා!
’’නරශ්‍රේෂ්ටයන් වහන්ස, මම ස්ත්‍රීන්හට යම් පැවිද්දක් නැවත නැවත අයැදියෙම්ද, ඉදින් එහි මාගේ කිසියම් දොසක් ඇත්නම් එයට ක්‍ෂමා කරණ සේක්වා!
’’වීරයන් වහන්ස, මා විසින් ඔබ වහන්සේගේ අනුදැනුමින් අනුසස්නා ලද භික්‍ෂුණීහු වෙති. ඉදින් ඒ භික්‍ෂුණීන් කෙරෙහි යම් අවිනීත බවක් ඇත්නම් ක්‍ෂමාවට අධිපතිවූ බුදුරජාණන් වහන්ස, එයට ක්‍ෂමා කරණ සේක්වා’’ යි කීවාය.
’’නොඉවසියයුතු වරදක් ඇති කල්හි නම් ක්‍ෂමා කළ යුතුය. ගුණ අබරණකොට ඇති මාතාවෙනි, තී කෙරෙහි එබඳු වරදක් කෙසේ වේද. අළුයම් කල්හි තාරකාවන්ගේ (බැසයාමෙන් වන) ව්‍යසනය දැක, චන්ද්‍රරේඛා තොමෝද බැස යන්නීය. එසේම ශුද්ධවූ, සම්පූර්‍ණවූ මාගේ භික්‍ෂු සංඝයා මෙම ලෝකයෙන් නික්මයාමට හෙවත් පරිනිර්‍වාණයට කැමති වන කල්හි පිරිනිවනට යන්නාවූ තීගේ එම අදහසට වැඩි කුමක් නියන්නෙම්දැ’’ යි (වදාළ සේක.)
’’චන්ද්‍රයා අනුව ගිය තාරකාවක් මෙන් ඒ භික්‍ෂුණීහු, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමැති මේරු පර්‍වතය පැදකුණු කොට, (සිරි) පා මුල වැටී, (බුදුරජුන්ගේ) මුහුණ දෙස බලමින් සිටියාහුය.
’’ඔබ වහන්සේගේ දර්‍ශනයෙන් ඇස තෘප්ත නොවේ. (එසේම) ඔබ වහන්සේගේ වචන ඇසීමෙන් කණද තෘප්ති නොවේ. හුදෙක් මාගේ ඒ එකම සිත (ඔබ වහන්සේගේ) දහම් රසය කරණකොට ගෙන තෘප්තියට පැමිණෙන්නේය.
’’විරුද්ධවාදීන්ගේ එඩිය බැහැර කරන්නාවූ, පිරිස් මැද සිට අභීත නාද කරන්නාවූ, ඔබ වහන්සේගේ මුඛය යමෙක් දකින්නාහු නම්, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔවුහු භාග්‍ය ඇත්තෝය.
’’දික් ඇඟිලි ඇත්තාවූ, තඹවන් නිය ඇත්තාවූ, ශුභවූ දික් විළුම් ඇත්තාවූ ඔබ වහන්සේගේ සිරිපා යමෙක් වඳින්නාහු නම්, ගුණධාරීන් වහන්ස, ඔවුහුද භාග්‍ය ඇත්තෝය.
’’ඔබ වහන්සේගේ මිහිරිවූ, පහටුවූ, දොස් නසන්නාවූ, හිතවූ වචනයන් යමෙක් තුමූ අසන්නාහුද, නරොත්තමයන් වහන්ස, ඔවුහුද භාග්‍ය ඇත්තෝය.
’’මහා වීරයන් වහන්ස, ශ්‍රීමත්වූ ඔබ වහන්සේගේ සිරිපා පිදීමෙහි යෙදුනාවූ යහපත්වූ වචනය කරණකොටගෙන තරණය කරණ ලද සසර කතර ඇත්තාවූ මම (ද) භාග්‍ය ඇත්තියක් වෙමි’’ (යි කීවාය.)
’’ඉක්බිති මනා ව්‍රත ඇති ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ, භික්‍ෂු සංඝයාටද දැනුම් දී, රාහුල, ආනන්‍ද, නන්‍ද යන ශ්‍රාවකයනටද වැඳ මෙය කීවාය.
’’සර්පයින් වසන තැනක් බඳුවූ, රෝගයනට වාසස්ථානවූ, ජරාමරණයනට ගොදුරුවූ, දුක් රැස්වීම් ඇත්තාවූ, කිලිටි කුණුවලින් ගැවසී ගත්තාවූ, අනුන් අයත්වූ හෙවත් තමාගේ විෂයෙහි නොපවත්නාවූ, උත්සාහ විරහිත සිරුරෙහි කලකිරුනී වෙමි. එහෙයින්(ම) පිරිනිවනට කැමැත්තෙමි. (මාගේ) කුඩා දරුවෙනි, (එයට) අනුදනිමි’’ (යයි කීවාය.)
’’නන්‍ද තෙමේද, රාහුල භද්‍ර තෙමේද, (යන මේ දෙදෙන) පහවූ ශෝක ඇත්තාවූ, ආශ්‍රව රහිත වූවාහු, (අටලෝ දහම්හි) නිසලව සිටීමෙහි තිරවූවාහු, (සංස්කාර ධර්‍මයන්ගේ) ස්වභාවය අනුව සිතුවාහුය. (කෙසේද යත්?)
’’ලොල්වූ, අසාරවූ, කෙසෙල් කඳකට බඳු උපමා ඇත්තාවූ, මායාවක්, මිරිඟුවක් සමානවූ, ස්වල්පවූ, ස්ථිරව නොපවත්නාවූ, සංස්කාර ධර්‍මයනට නින්දා වේවා.
’’යම් තැනෙක්හි නම් බුදුරජුන්ගේ සුළු මවවූ, බුදුරජුන් පෝෂණය කළාවූ, මේ ගෞතමී තොමෝ මරණයට පැමිණේද, (එහෙයින්) සියළු සංස්කාර ධර්‍ම අනිසය’’ (කියායි.)
’’එකල්හි බුදුරජුහට සෙනෙහ ඇති, ශෝකයෙන් ආතුරවූ, ශෛක්‍ෂයවූ ඒ ආනන්‍ද තෙමේද, එහි කඳුළු හෙලමින් දුකින් හඬයි. (කෙසේද යත්?)
’’අහෝ ගෞතමී තොමෝ පිරිනිවනට යයි. ඒකාන්තයෙන් නොබෝ කලකින්ම බුදුරජතෙමේද දර නැති ගින්නක් මෙන් පිරිනිවනට යති.
’’මෙසේ හඬන්නාවූ අනද තෙරුන්හට ගෞතමී තොමෝ මෙසේ කීවාය. (බුදුරජුන් විසින් දෙසූතාක්ද, දෙසන තාක්ද දහම් සියල්ලක් තමා අසා දැනගන්නා බැවින්), ’’ගැඹුරුවූ ශ්‍රුති සාගරයාණන් වහන්ස, බුදුරජුන්හට උවටැන් කිරීමෙහි නිරතවූවන් වහන්ස, පුතණුවන් වහන්ස, සතුටුවියයුතු කාලය පැමිණි කල්හි ශොක කිරිමට නුසුදුසුය. පුතණුවෙනි, මා පැමිණියාවූ නිවන් පිණිස ඔබ මට පිළිසරණ (වූයෙහිය.)
’’පුතණුවන් වහන්ස, ඔබ විසින් ආරාධනා කරණ ලදුයේ (බුදුරජතෙම) අපට පැවිද්ද අනු දැන වදාළ සේක. දරුව දුක් නොවන්න. ඔබගේ උත්සාහය සඵලය.
’’පෙරවූ තීර්ත්‍ථකාචාර්‍ය්‍යයන් විසිනුදු නොදක්නා ලද යමක් වේ නම් ඒ (ශාන්ත)පදය සිව්මැලිවූ සත් හැවිරිදි ලදැරියක් විසින් දැනගන්නා ලදී.
’’බුද්ධ ශාසන පාලකයාණන් වහන්ස, ඔබ වහන්සේගේ (මේ) අන්තිම දර්‍ශනයයි. යම් තැනෙක්හි ගිය කල්හි නොපෙනේද, පුතනුවන් වහන්ස, මම එහි යෙමි.
’’කිසියම් දිනක දහම් දෙසන්නාවූ තථාගතතෙම කිවිසීසේක. එකල්හි අනුකම්පා ඇත්තාවූ මම ආශීර්‍වාද වචනයක් කීමි. (කෙසේදයත්?)
’’මහා වීරයන් වහන්ස, බොහෝ කලක් ජීවත්වෙනු මැනව. මහාමුනීන් වහන්ස, කාලයක් වැඩ සිටිනු මැනව. සියළු ලෝකයට වැඩ පිණිස අජරාමර හෙවත් ජරා මරණ නැති කෙනෙක් වෙනු මැනව’’ (කියායි.)
’’ඒ බුදුරජතෙමේ එසේ කියන්නාවූ මට මෙසේ වදාළ සේක. ’’ගෞතමිය වඳින්නාක් මෙන් බුදුවරයෝ වැඳිය යුත්තාහු නොවෙති’’ යි (කියායි.)
’’එසේ නම් සර්‍වඥ තථාගතවරයෝ කෙසේ වැඳිය යුත්තාහුද, (එම) බුදුවරයෝ කෙසේ නොවැඳිය යුත්තාහුද, විචාරණ ලද්දාවූ මට කියනු මැනව’’ (කියායි.)
’’පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇති, (කාය-ජීවිත නිරපෙක්‍ෂකව සසුනෙහි) මෙහෙයූ සිත් ඇති, නිරන්තරයෙන් දෘඪ පරාක්‍රම ඇති සමගි ශ්‍රාවකයන් දක්නේය. මෝතොමෝ බුද්‍ධ වන්දනාව නම් වන්නීය’’ යි (වදාළ සේක.)
’’ඉක්බිති මම භික්‍ෂුණී අසපුවට ගොස් හුදකලාව මෙසේ සිතීමි. ’’භවත්‍රයෙහි අන්තයට ගිය බුදුරජ තෙම සමගිවූ පිරිසක් රුචි කෙරෙයි.
’’ඒකාන්තයෙන් මම පිරිනිවන් පාන්නෙමි. ඒ විපත නොදකීවා’’ යි මම මෙසේ සිතා බුදුරජුන් දැක,
’’මාගේ පිරිනිවනට පැමිණීමේ කාලය විනායකවූ තථාගතයන්හට දැන්වීමි. ඉක්බිති ඒ බුදුරජතෙමේ, ’’ගෞතමිය, කල් දනුව’’ යි අනුදැන වදාළ සේක.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ටවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’ස්ත්‍රීන් ධර්‍මාවබෝධයෙහි යමි. ඒ ඇතැම් අඥානයෝ සැකයට පත්වූහ. ගෞතමිය, ඔවුන්ගේ වැරදි අදහස දුරුකිරීම පිණිස ඎද්‍ධි දක්වනු මැනවැ’’ යි (වදාළ සේක)
’’එකල්හි ගෞතමී තොමෝ සම්බුදුරජුන් (පාමුළ) වැටී, අහසට නැගී, තථාගතයන්ගේ අනුදැනුම පරිදි බොහෝ ඎද්‍ධීන් දැක්වූවාය.
’’එක් තැනැත්තියක්(ව) බොහෝ දෙනා වූවාය. එසේම, බොහෝදෙනා(ව) එක් තැනැත්තියක් වූවාය. (ආවරණයව තුබු දැය) ප්‍රකට කළාය. (ප්‍රකටව තුබූ දැය) ආවරණය කළාය. භික්තියෙන් ඔබ්බටද, පර්‍වතයෙන් ඔබ්බටද නොගැටි ගියාය. පොළොවෙහිද කිමිදුනාය. නොබෙදෙන දියෙහිද පොළොවෙහි මෙන් ගමන් කළාය.
’’එකල්හි ලිහිණියක මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කළාය. කයින් බඹලොව දක්වා තමා වසඟයෙහි පැවැත්වූවාය. හෙවත් දෘශ්‍යමානවූ කයින් සියල්ලන්ට පෙනෙමින් බඹලොවට ගියාය.
’’සිනෙරු පර්‍වතය (කුඩයෙහි) දණ්ඩ (මිට)ට ගෙන මහා පෘථිවිය ඡත්‍රයට ගෙන, සහමුලින්ම පොළොව පෙරළා (කුඩයක් ලෙස) දරන්නී, අහසෙහි සක්මන් කළාය.
’’ඕතොමෝ සූර්‍ය්‍යයන් සදෙනෙකු උදාවන කල්හි මෙන් ලොව දුම් සහිත කළාය. කල්පාන්තයෙහිදී මෙන් ලෝකය අග්නිජ්වාලාවන්ගෙන් ආකූල කළාය.
’’මුචලින්‍ද නම් මහා පර්‍වතයද, මේරු-මන්දාර පර්‍වතයන්ද යන මේ සියල්ල අබ ඇට මෙන් එක මිටින් ගත්තාය.
’’හිරු, සඳු ඇඟිලි අගින් වැසුවාය. දහස් ගණන සඳ-හිරු මුදුන් මල්කඩ ලෙස දැරුවාය.
’’සිව් සයුරෙහි ජලය එක අතින් දැරුවාය. යුගාන්තයෙහිවූ මහා මේඝයක් මෙන් මහ වැසි වැස්වූහ.
’’ඕතොමෝ පිරිස් සහිතවූ සක්විති රජ අහස් තලයෙහි මැව්වාය. නාද කරන්නාවූ ගුරුළාද, හස්තියාද, සිංහයාද දැක්වූවාය.
’’හුදකලාවූවා (යලි) අපමණවූ භික්‍ෂුණී සමූහයා මවා, (නැවත ඔවුන්) අතුරුදන්කොට හුදකලාවූවා බුදුරජුන්හට මෙසේ කීවාය.
’’මහා වීරයන් වහන්ස! ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ (එසේම) ඔබ වහන්සේගේ සුළුමව්මූ (ගෞතමී තොමෝ) ස්වීය අභිමතාර්ත්‍ථයට හෙවත් නිවණට පැමිණියාය. පසැස් ඇතියාණන් වහන්ස! (ඕතොමෝ ඔබ වහන්සේගේ) සිරිපා වඳී’’ යයි කියමින්
’’ඕතොමෝ විවිධවූ ඎද්‍ධීන් දක්වා අහස් තලයෙහි බැස, බුදුරජුන් වැඳ, එකත් පසෙක සිටියාය.
’’මහා මුනීන් වහන්ස, ඒ (ගෞතමීවූ) මම උත්පත්තියෙන් එක්විසි වයස් ඇත්තීය. වීරයන් වහන්ස, මෙතෙක් (ජීවත්වීම) පමණි. ලෝක නායකයන් වහන්ස, පිරිනිවන් පාන්නෙමැ’’ යි (කීවාය.)
’’එකල්හි මහත් විෂ්මයට පත්වූ ඒ පිරිස් තොමෝ බඳැදිලි ඇත්තී, ’’ආර්‍ය්‍යාවෙනි, අනූපමවූ (මෙබඳු) ඎද්‍ධි පරාක්‍රමයක් කෙසේ වීදැ’’ යි (ඇසුවාහ.)
’’සියළු ධර්‍මයන් විෂයෙහි (මනාවූ) දැකුම් ඇති, ලෝක නායකවූ පදුමුත්තර බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
’’එකල්හි මම හංසවතී නගරයෙහි සියළු උපකාරයන්ගෙන් යුක්තවූ, සමෘද්‍ධවූ, ආඪ්‍යවූ, මහත් ධන ඇති අමාත්‍ය කුලයෙක්හි උපන්නී වීමි.
’’කිසියම් කලෙක්හි දාසී සමූහයා විසින් පිරිවරන ලදුව, පියා සමග ඒ බුදුරජුන් වෙත එළඹ,
’’ශක්‍රයා වැනිවූ, දහම් වැසි වස්වන්නාවූ, ආශ්‍රව රහිතවූ, රැස් සමූහයෙන් ගැවසීගත් සරාහිරු වැනිවූ, සුළුමව්වූ භික්‍ෂුණිය අග්‍රස්ථානයෙහි තබන්නාවූ නරනායකවූ, පස්මරුන් ජය ගත්තාවූ බුදුරජුන් දැක, උන්වහන්සේගේ සුභාෂිත වචනයද අසා, සඞ්ඝයා සහිතවූ, නරශ්‍රේෂ්ඨවූ, ඒ තාදී ගුණ බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි මහ දන් දී බොහෝ ප්‍රත්‍යයන්ද දී,
’’පාමුල වැටී, එම (සුළුමව්වූ භික්‍ෂුණිය ලැබූ) තනතුර පැතීමි. ඉක්බිති බුදුරජතෙම, මහපිරිසට මෙසේ වදාළ සේක.
’’යම් තැනැත්තියක් තොමෝ සංඝයා සහිතවූ බුදුරජුන් සතියක් මුළුල්ලෙහි වැළඳවූවාද, මම ඇය කෙබඳු තැනැත්තියක්දැයි පවසන්නෙමි. එසේ පවසන්නාවූ මාගේ වචනය අසව්.
’’මින්මතු සියක් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ ඖරස (බුද්‍ධ) පුත්‍රීවූ, ධර්‍මයෙන් නිර්මිත කරන ලද්දාක් වැනිවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නීය.
’’එම බුදුරජුන්ගේ සුළුමවවූ මෝ තොමෝ, උන්වහන්සේගේ ජීවිතය පෝෂණය කරන්නීය. චිරරාත්‍රඥවූ භික්‍ෂුණීන් අතුරෙන් අගබවද ලබන්නීය.’’ (යනුයි.)
’’එය අසා ප්‍රමුදිතවූ මම එකල්හි බුදුරජුන්හට දිවි ඇතිතෙක් සිව්පසයෙන් උවටැන් කොට මම එම ආත්මභාවයෙන් චුතවූයේ,
’’සියළු කම්සුවයන්ගෙන් පිරුණාවූ තව්තිසා දෙවියන් අතුරෙහි උපන්නීවූ මම කරුණු දශයකින් සෙසු දෙවියන් යටපත් කෙළෙමි. (කෙබඳු කරුණු දශයකින්ද යත්?)
’’රූපයෙන් හා ශබ්දයෙන්ද, ගන්‍ධයෙන්ද, රසයෙන්ද, ස්පර්‍ශයෙන්ද, ආයුෂින්ද, වර්‍ණයෙන්ද, සැපයෙන්ද, යසසින්ද, එසේම ආධිපත්‍යයෙන්ද මම (සෙසු දෙවියන්) ඉක්මවා බැබලුනෙමි. එහි ශක්‍රයාගේ මෙහෙසියවූ (දෙව්) අඟනද වීමි.
’’කර්‍මය නමැති වායු වේගයෙන් මෙහෙයන ලද සසරෙහි සැරිසරන්නාවූ මම කාසි රජුන්ගේ විජිතයෙහි දාසයන්ගේ ගමක උපනිමි.
’’එකල්හි එම ගමෙහි නොඅඩු පන්සියයත් දාසයෝ වෙසෙති. එහි එම සියලු දාසයිනට යමෙක් ජ්‍යෙෂ්ඨවේද, මම ඔහුගේ භාර්‍ය්‍යාව වීමි.
’’පන්සියයක් පසේබුදුවරු (එම) ගමට පිඬු පිණිස පිවිසියාහුය. උන්වහන්සේලා දැක, සියළු ඥාතීන් සමග තුටුවූ මම,
’’පන්සියයක් කුටි සාදා (දී) (වස්) සිව් මස උවටැන්කොට, තුන් සිව්රුද දී, සැමියා සහිතව සැරිසැරීමි.
’’ඉන් සැව, ස්වාමියා සහිතවූ අපි දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෝ වෙමු. දැන් මේ අන්තිම භවයෙහි දෙව්දහ නගරයෙහි උපන්නී,
’’මාගේ පිය තෙමේ අඤජන ශාක්‍ය රජ තෙමේයි. මාගේ මව් තොමෝ සුලක්ඛණා තොමෝයි. ඉක්බිති කපිලවස්තු නගරයෙහි සුදේධා්දන රජුගේ ගෘහයට (මෙහෙසි බවට) ගියා,
’’සෙසු තැනැත්තියෝ ශාක්‍ය කුලයෙහි උපන්නියෝ, ශාක්‍යයන්ගේ කුලවලටම ගියාහුය. මම සියළු ස්ත්‍රීන් අතුරෙන් විශිෂ්ඨවූවා, බුදුරජුන් පොෂණය කළ තැනැත්තිය වීමි.
’’මාගේ පුත්‍ර තෙමේ ගෘශාභිනිෂ්ක්‍රමණයකොට විශිෂ්ඨ නායකවූ බුදුරජ තෙමේ විය. පසුව මම ප්‍රාඥවූ පන්සියයක් ශාක්‍ය කාන්තාවන් සමග පැවිදිව ශාන්ති සුඛයවූ නිවණ ස්පර්‍ශ කෙළෙමි. හෙවත් අවබෝධ කෙළෙමි. එකල්හි යමෙක් තුමූ පෙර ජාතියෙහි අපගේ ස්වාමීහු වූවාහුද,
’’ඔවුහු සමගිව පින් කරන්නාහූ, දැඩිසේ ආගම ධර්‍මයෙහි යෙදෙන්නාහු, බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද්දාහු රහත්බව ස්පර්‍ශ කළාහුය. හෙවත් රහත්වූහ.
’’ඒ සෙසු භික්‍ෂුණීහු අහස්තලයට නැංගාහුය. අහසෙහිවූ තාරකාවන් මෙන් මහර්ධි ඇති (එම භික්‍ෂුණීහු) බැබලුණාහුය.
’’මනාසේ රන්කම් උගත් ස්වර්‍ණකාරයෙකු කර්‍මයොග්‍යවූ ස්වර්‍ණයෙන් ආභරණ විශෙෂයක් සාදන්නේ යම්සේද, (එසේම) බොහෝ ඎද්‍ධීන් දැක්වූහ.
’’විසිතුරුවූ, බොහෝවූ ප්‍රාතිහාර්‍ය්‍යයන් දක්වා එකල්හි වාදීන් අතුරෙන් උතුම්වූ පිරිස් සහිතවූ බුදුරජුන් තුටුකොට,
’’අහසින් බැස, තථාගතයන් වැඳ, එම නරශ්‍රේෂ්ඨවූ බුදුරජුන් විසින් අනුදන්නා ලද්දීවූ (භික්‍ෂුණීහු) සුදුසු තන්හි උන්නාහුය.
’’වීරයන් වහන්ස, ගෞතමී තොමෝ අප සියළු දෙනාට (කරණ ලද) අනුකම්පා ඇත්තීය. (එය) ආශ්චර්‍ය්‍යයකි. ඔබවහන්සේගේ පින් කරණ කොට ගෙන සුවඳ කවන ලද (භාවිතවූ) අපි ආශ්‍රවක්‍ෂය නම්වූ නිවණට පැමිණියේ වෙමු.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතිණියන් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමු.
’’ඒකාන්තයෙන් බුද්‍ධශ්‍රෙෂ්ඨයන් වහන්සේගේ සමීපයෙහි අපගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිලිසිඹියාවෝද, අෂ්ඨවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද, සාක්‍ෂාත් කරණ ලදද බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’ඎද්‍ධීන්හි වශීවූවෝ වෙමු. මහා මුනීන් වහන්ස, දිව්‍ය ශ්‍රොතාඥානයෙහිද, චෙතො පරියඥානයෙහිද වශීවූවෝ වෙමු.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරණ ලදී. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’මහා වීරයන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහිදී උපන් අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව් පිළිසිඹියාවන්හිවූ ඥානයද අපට ඇත.
’’ලෝක නායකයන් වහන්ස, අප විසින් මෙත් සිත පුරුදු කරණ ලදුයේමය. මහාමුණීන් වහන්ස, සියලු දෙනාහට පිරිනිවණට අනු දැන වදාළ මැනව.
’’පිරිනිවන් පාන්නෙමැයි මෙසේ පවසන්නාවූ පින්වන්තියනට කුමක් කියන්නෙම්ද? යම් හෙයකින් දැන් තොපගේ (පිරිනිවණට) කාලය (නම් එය) සිතව්’’ යයි තථාගත තෙම වදාළ සේක.
’’එකල්හි ගෞතමිය ආදීවූ එම භික්‍ෂුණීහු එම අසුනින් නැගිට ගියාහුය. ඒ වීරවූ, ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජතෙමේ මහත්වූ ජන සමූහයා සමග (ආරාමයෙහි) දොරකොටුව (දොරටුව) දක්වා සුලු මව අනුව ගිය සේක.
’’එකල්හි ගෞතමී තොමෝ සෙසු සියලු භික්‍ෂුණීන්ද සමග ලෝකබන්ධුවූ බුදුරජුන්ගේ පාමුල වැටුනාය. (මෙසේද කීවාය.) ’’අන්තිම සිරිපා වැඳුමයි.’’
’’මේ මාගේ බුදුරජුන්ගේ අන්තිම දර්‍ශණයයි. නැවත අමෘතයක් වැනිවූ ඔබ වහන්සේගේ මුහුණ නොදකින්නෙමි.
’’වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ සියුමැලි සිරිපා වැඳුමක් (මින්මතු) නොවන්නේය. ලෝකනායකයන් වහන්ස, (සිරිපා හිසින්) ස්පර්‍ශ කරමි. අද පිරිනිවණට යමි.
’’මෙලෙව්හිදීම සත්‍යවූ (වෙන්වීමෙන් යුක්ත) ඔබ වහන්සේගේ මේ රූපයෙන් කිම. මේ සියලු සංස්කාර ධර්‍මම අස්වැසිලි රහිතය. ස්වල්පය.’’
’’ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ එම භික්‍ෂුණීන් සමග ස්වකීය භික්‍ෂුණී අසපුවට ගොස් අර්ධපර්‍ය්‍යඞ්කය බැඳගන උතුම්වූ අසුනෙහි වැඩහුන්නාය.
’’එකල්හි එහි බුදුසසුනෙහි ඇලුම් ඇති උවැසියෝ එම ප්‍රජාපතී ගෞතමියගේ පුවත අසා (එතුමියගේ) පා වඳිනු කැමැත්තියෝ එළඹියාහුය.
’’අත්වලින් ලෙහි පැහැර සිඳින ලද මුල් ඇති ලතාවන් මෙන්, බැගෑ හඬින් හඬමින් ශෝකයෙන් ආතුරවූවාහු බිම ඇද වැටුනාහුය.
’’අපගේ සරණ දායිකාවෙනි, (අනාථවූ අපට පිහිටවන) නාථාවෙනි. අප හැර දමා පිරිනිවණට නොයනු මැනව. අපි සියල්ලෝ හිසින් (දෙපාමුල) වැටී (එසේ නොයන ලෙස) යදිමු’’ යයි (කීහ.)
’’ඔවුනතුරෙන් ඉතා ප්‍රධානවූ, යම් සැදැහැවත්, පැණවත් උවැසියක් තොමෝ වූවාද, ඇයගේ හිස පිරිමදින්නී (ගෞතමී තොමෝ) මෙම වචනය කීවාය.
’’දැරියෙනි, මාරයාගේ මළ පුඩුව අනුව ගියාවූ දුකින් කම් නැත. සියලු සංස්කාරයන් අනිත්‍යය. වෙන්වීමෙන් කෙළවර වන්නේය. අතිශයින් චංචලය’’ කියායි.)
’’ඉක්බිති ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ එම උවසියන් අතහැර දමා උතුම්වූ ප්‍රථමධ්‍යානයටද, වීතීයධ්‍යානයටද, තෘතීයධ්‍යානයටද, චතුර්ත්‍ථධ්‍යානයටද සම වැදුනාය.
’’ආකාසානඤ්චායතනයටද, එසේම විඤ්ඤාණඤ්චායතනයටද, ආකිඤ්චඤ්ඤායතනයටද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයටද පිළිවෙලින් සමවැදුනාය.
’’ගෞතමී තොමෝ ප්‍රථමධ්‍යානය දක්වා ප්‍රතිලෝම වශයෙන්ද, ඉක්බිති චතුර්ත්‍ථධ්‍යානය දක්වා (අනුලොම් වශයෙන්ද) ධ්‍යානයට සමවැදුනාය.
’’ඉන් නැගිට තෙල් රහිතවූ පහන් දැල්ලක් මෙන් පිරිනිවන් පෑවාය. මහත්වූ භූමිකම්පාවක්ද විය. අහසින් විදුලිද වැටුනේය.
’’භෙරීහු නාද කළාහුය. දෙවිවරු හැඬූහ. අහසින් මල්වැසි ඇතිවිය.
’’මේරූ පර්‍වත රාජයාද රඟමඬලෙහි මැද (නටන) නළුවෙකු මෙන් කම්පා විය. සොවින් ඉතා බැගෑවූවාක් මෙන් සයුරද පවත්වන කද ශබ්ද ඇත්තේ විය.
’’දෙවියෝද, නාගයෝද, අසුරයෝද, බ්‍රහ්මයෝද, එකෙණෙහි සංවේගයට පත්වුහ. (කෙසේද යත්) යම්සේ මෝ තෙමෝ මරණයට පත්වූවාද (එසේම) ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ.
’’ඉදින් බුදුසසුන කරන්නාවූ යම් භික්‍ෂුණී කෙණෙක් මෙම ගෞතමිය පිරිවරා සිටියාහුද, එම භික්‍ෂුණීහුද පහන් සිළු මෙන් නිවී ගියහ.
’’අහෝ සංයෝගයෝ වියෝගය කෙළවරකොට ඇත්තාහ. අනේ! සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. අහෝ, ජීවිතය මරණයෙන් කෙළවර වන්නකැ’’ යි මෙසේ මහත්වූ හැඬීමක් විය.
’’ඉක්බිති දෙවියෝද, බ්‍රහ්මයෝද රජුන් වෙත එළඹ (අෂ්ට) ලෝක ධර්‍මයට අනුව පැවැත්ම කලට සුදුසු පරිදි කෙරෙත්’’ යයි කීහ.
’’එකල්හි ශාස්තෘතෙමේ ශ්‍රුති සාගරයක්වූ හෙවත් බුදුරජුන් වෙතින්ම ඇසීමෙන් දැනගන්නාලද, සයුර මෙන් අපමණවූ ධර්‍මය ඇති අනඳ තෙරුන් ඇමතූහ. (අමතා) ’’ආනන්‍දය, යනු මැනව. භික්‍ෂූන්හට මවගේ පිරිනිවීම දන්වව’’ යි වදාළ සේක.
’’එකල්හි පහව ගිය ප්‍රීතිය ඇති ආනන්ද තෙමේ කඳුලු පිරුණු ඇස් ඇත්තේ, ගොත ගසන හඬින්, ’’පෙර, දකුණු, පැසුලූ, උතුරු දිශාවන්හි යම් (භික්‍ෂු කෙණෙක්) වසත් නම් (එම භික්‍ෂූහු) රැස් වෙත්වා. බුද්‍ධ පුත්‍රවූ භික්‍ෂූහු මගේ වචනය අසත්වා.
’’යම් මවක් තොමෝ බුදුරජුන්ගේ අන්තිම ශරීරය උත්සාහයෙන් වර්ධනය කළාද, ඒ (මහා ප්‍රජාපතී) ගෞතමී තොමෝ හිරු උදාවන කල්හි නිෂ්ප්‍රභාවන තාරකාවන් මෙන් පිරිනිවනට පැමිණියාය.
’’බුද්‍ධ මාතාව’’ යන නම (පමණක්) තබා ගියාය. (පිරිනිවීමෙන් පසු) යම් තැනෙක්හි ගියා නම් (ඇය එහි) පසැස් ඇති බුදුරජතෙමේ නමුදු නොදකින්නේය.
’’බුදුරජුන් කෙරෙහි යමෙකුගේ ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, යමෙක් මහාමුනිවූ තථාගතයන්ගේ බුද්‍ධමාතාව කෙරෙහි සත්කාර කෙරේවා’’ යි (කියායි.)
’’එය අසා බොහෝ දුර සිටියාවූද කිසියම් භික්‍ෂු කෙණෙක් බුද්‍ධානුභාවයෙන් (එතැනට) පැමිණියාහුය. ඎද්‍ධීන්හි දක්‍ෂවූ ඇතැම් කෙණෙක් ශුභවූ සියල්ල රුවන්මුවාවූ රම්‍යවූ උතුම් කුලුගෙයක ගෞතමී තොමෝ පිරිනිවන සඳහා යම් (සයනයක) සැතපුනාද (එම) සයනය නංවා තැබූහ.
’’ගෞතමී තොමෝ පිරිනිවන සඳහා යම් (සයනයක) සැතපුනාද, (එම) සයනය ශුභවූ සියල්ල රුවන්මුවාවූ රම්‍යවූ උතුම් කුලුගෙයක (රන්සිවිගෙයක) නංවා තැබූහ.
’’ඒ ලෝකපාලකවූ සිව්වරම් රජවරු (එම රන්සිවිගෙය) කරින් ඉසුලූහ. සෙසු ශක්‍රාදී දෙවිවරුද රන්සිවිගෙවල් ගත්තාහුය.
’’විශ්වකර්‍මයා විසින් කරණ ලද්දාවූ, සරා හිරුවන්වූ සියල්ල පන්සියයක් කූටාගාරයෝ (රන්සිවිගෙවල්) වූහ.
’’එම සියලු භික්‍ෂුණීහු (පිරිනිවන් පා) සයනයෙහි සැතපී සිටින්නියෝ වූහ. (එම සයනයන් රන්සිවි ගෙවල තබා, එකී රන්සිවිගෙවල් පිටින්) දෙවියන්ගේ කරට නැඟුනාහු, පිළිවෙලින් නික්ම යෙත්.
’’අහස්තලය සර්‍වාකාරයෙන්ම වියනින් වසන ලද්දේ විය. රුවන්මුවාවූ තරු සහිත සඳ හිරු සටහන් කළ
’’ඔසවන ලද බොහෝ පතාකයෝ (වූහ.) පතළාවූ මල් සැට්ටද, බැසගත්තාවූ ආකාශ පද්මයෝද (වූහ.) (එසේම) පොළොවෙන් මල් උඩට නැංගේය.
’’චන්‍ද්‍ර-සූර්‍ය්‍යයෝ පෙනෙත්. තාරකාවෝ දිලිසෙත්. හිරු මධ්‍යගතවූයේ නමුදු සඳු මෙන් නොතවයි.
’’දෙවියෝ දිව්‍යමයවූ සුවඳ මලින්ද, මල්වලින්ද, නෘත්‍යයන්ගෙන්ද, සංගීතයන්ගෙන්ද පිදුවාහුය.
’’නාග-අසුර යන මොවුහුද, බ්‍රහ්මයෝද, (තම-තමන්ගේ) ශක්තිය පරිදි, බලය පරිදි, පිරිනිවියාවූ (වැඩමවා) ගෙන යන්නාවූ බුද්‍ධමාතාවට පිදුවාහුය.
’’බුද්‍ධපුත්‍රීවූ, පිරිනිවනට පත් සියළු භික්‍ෂුණීහු ඉදිරියෙහි ගෙනයන ලදහ. බුදුරජාණන් වහන්සේ පොෂණය කරණ ලද (තථාගතයන් වහන්සේ විසිනුදු) සත්කාර කරණ ලද (මහා ප්‍රජාපතී) ගෞතමී තොමෝ ඉක්බිතිව ගෙනයන ලදහ.
’’නා-සුර-බඹුන් සහිතවූ දෙවි මිනිස්සු ඉදිරියෙහි (යෙත්.) පසුව ශ්‍රාවකයන් සහිතවූ බුදුරජතෙම මවට පුද පිණිස යති.
’’ගෞතමියගේ පරිනිර්‍වාණය සම්බුදු නම් බුදුරජුන්ගේ පරිනිර්‍වාණයද මෙබඳු නොවීය. ඉතා ආශ්චර්‍ය්‍ය දැය සිදුවිය.
’’බුදුරජුන්ගේ පරිනිර්‍වාණයෙහි බුදුරජතෙමේද, ශාරීපුත්‍ර ආදී භික්‍ෂූහුද නොවූහ. ගෞතමියගේ පරිනිර්‍වාණයෙහි එසේ නොවීය. බුදුරජතෙමේද, ශාරීපුත්‍ර ආදී භික්‍ෂූහුද වූහ.
’’(එම දිව්‍ය-බ්‍රහ්ම-නර-නාගාදී) ඔවුහු සියල්ල සුවඳ දරින් කරණ ලද්දාවූ, සුවඳ සුණු ඉසින ලද්දාවූ චිතකයන් කොට, එහි එම භික්‍ෂුණීන් දැවූහ.
’’සෙසු කොටස් දැවුනාහ. සෑම අයුරින්ම ඇට ඉතිරිවිය. එකල්හි ආනන්‍ද තෙමේද සංවේගය දන්වන්නාවූ වචන කීය. (කෙසේද යත්?)
’’ගෞතමී තොමෝ පරිනිර්‍වාණයට පැමිණියාය. ඒ ගෞතමියගේ සිරුරද ආදාහනය කරණ ලදී. බුදුරජුන්ගේ පරිනිර්‍වාණයද නොබෝ කලකින්ම වන්නේයයි මට සැක ඇත්තේ වෙමි’’ යි (කියායි.)
’’ඉක්බිති බුදුරජුන් විසින් මෙහෙයන ලද ඒ ආනන්‍ද තෙමේ ඇයගේම පාත්‍රයෙහිවූ ගෞතමියගේ ධාතූන් ලෝකනාථයන් වහන්සේට පිරිනැමීය.
’’තථාගත තෙමේ එම ධාතූන් ශ්‍රී හස්තයෙන් ගෙන (මෙසේ) වදාළ සේක. ’’යම්සේ මහත්වූ අරටු සහිතව පවත්නාවූ වෘක්‍ෂයක ඒ මේ අතිවිශාල කඳ (පවා) පළුදු වන්නේය. (මේ) අනිත්‍යතාවයි. එසේම භික්‍ෂුණී සංඝයාගේ (නායිකාවවූ) ගෞතමී තොමෝ පිරිනිවණට පත්වූවාය.
’’ආනන්‍දය, බලනු මැනව. ශරීර (ධාතු) මාත්‍රය පමණක් ඉතිරිවූ පිරිනිවණට පත් මව පිළිබඳව බුදුරජුන් ශෝකයක් හෝ පරිදේවයක් හෝ නැත.
’’ඕතොමෝ අනුන්ගේ ශෝකයට නුසුදුසුය. තරණය කරණ ලද සසර සයුරු ඇත්තීය. දුරුකරණ ලද තැවුල් ඇත්තීය. සිසිල් වූවාය. මැනවින් නිවීගියාය.
’’ඕතොමෝ පණ්ඩිත වූවාය. එසේම මහාප්‍රාඥද, පුථුප්‍රාඥද, භික්‍ෂුණීන් අතුරෙන් චිරරාත්‍රඥද වූවාය. මහණෙනි, මෙසේ (ඇය මෙබඳු ගුණ ඇත්තීයයි සිත්හි ලා) දරව්.
’’ගෞතමී තොමෝ ඎද්‍ධියෙහිද, දිව්‍ය ශ්‍රොත ධාතුයෙහිද වශීවූවාය. චෙතොපරිය ඤාණයෙහිද වශීවූවාය.
’’පෙර විසූ කඳ පිළිවෙළද දැනගත්තාය. දිවැසද පිරිසිදු කරණ ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. ඇයගේ නැවත ඉපදීමක් නැත.
’’අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, ප්‍රතිභාණයෙහිද නුවණ පිරිසිදු විය. එහෙයින් ඇය ශෝකයට සුදුසු නොවන්නීය.
’’ඝන යමුගුරකින් ගසන ලද දැල්වෙන ගින්නක් මෙන් අනුපූර්‍ව ශාන්තියට පැමිණියහුගේ ගතිය නොපෙනේ.
’’මෙසේ මැනවින් මිදුනාවූ, කාමබන්‍ධනය නමැති සැඩපහර තරණය කරණ ලද නිවන් සුවයට පැමිණියවුන්ගේ පණවන්නට ගතියක් නැත.
’’එහෙයින් තමාම පිළිසරණකොට ඇත්තෝ වව්. සතිපට්ඨානය අරමුණුකොට ඇත්තාහු, සප්තබොධ්‍යඞ්ගයන් වඩා දුක් කෙළවර කරව්’’ ය කියායි.
මෙහි මෙම අයුරින් මහා ප්‍රජාපතී භික්‍ෂුණීන් වහන්සේ (ගැන) මෙම ගාථාවන් වදාළ සේක.
මහාපජාපතිගොතමීථෙරියාපදානං සත්තමං.