ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

2. එකු පොසථිකා වග්ග

8. ඛෙමාපදානය

’’සියළු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුළු) පසැස් ඇත්තාවූ, ලෝක නායකවූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.

’’එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී, බොහෝ සුව විඳින්නියක් වීමි.

’’එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණකොට ගියෙමි.

’’මවටද, පියාටද කියා (අවසර ගෙන) බුදුරජුන් පවරා ශ්‍රාවකයන් සහිතව සතියක් මුළුල්ලෙහි වැළඳවීමි.

’’තථාගත තෙම සතිය ඉකුත්වූ කල්හි මහාප්‍රාඥ ඇත්තියන් අතුරෙන් උතුම්වූ භික්‍ෂුණියක් එතදග්‍රස්ථානයෙහි තැබූහ.

’’එය අසා සතුටුව නැවතද එම බුදුරජුන්හට සත්කාරකොට (උන්වහන්සේගේ) දෙපා මුල වැටී එම තනතුර පැතීමි.

’’ඉක්බිති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක. ’’තිගේ පැතුම් සිදුවේවා. තී විසින් සඞ්ඝයා සහිතවූ මා කෙරෙහි කරණ ලද සත්කාරය අපමණ විපාක ඇත්තකි.

’’මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදිවූ, ඖරස (බුද්ධපුත්‍රී) වූ, ධර්‍මයෙන් නිර්මිත කරණ ලද්දාක් වැනිවූ (තී) එතදග්‍රස්ථානයට පැමිණියා ’ඛෙමා’ නම් වන්නෙහිය (කියායි.)

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’මම ඉන් චුතවූවා යාම දෙව්ලොවට ගියෙමි. ඉන් තුෂිත දෙව්ලොවට ගියා, එතැනින් නිර්‍මාණරතියටද, ඉන් (චුතව) වශවර්ති (දිව්‍ය) පුරයටද (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’එම කර්‍මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම් නම් ඒ ඒ තන්හි රජවරුන්ගේ මෙහෙසි බව කෙළෙමි.

’’ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.

’’දෙවියන් කෙරෙහිද, මිනිසුන් කෙරෙහිද සම්පත් අනුභවකොට, සියළු තන්හි සුව ඇත්තීව බොහෝ කල්පයන්හි සැරි සැරීමි.

’’මින් එක්අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති, සර්‍ව ධර්‍මයන් විෂයයෙහි විශිෂ්ඨවූ දැකුම් ඇති, ලෝකනායකවූ විපස්සී බුදුරජතෙම ලොව පහළවූහ.

’’මම ලෝකනායකවූ ඒ බුදුරජුන් වෙත එළඹ ප්‍රණීතවූ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.

’’එම බුදුරජුන්ගේ සසුනෙහි දස දහසක් අවුරුදු බඹසර හැසිර, යෙදෙන ලද භාවනා ඇත්තී, බහුශ්‍රුතවූවා,

’’ප්‍රත්‍යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්‍ෂවූවා, චතුස්සත්‍යයෙහි විශාරදවූවා, පුරුදුවූවා, චිත්‍ර කථිකවූවා, බුදුසසුන් කරන්නීවූ මම ඉන් චුතව තුසිත දෙව්ලොව උපන්නී, යසස් ඇත්තී, බඹසර හැසිරීමෙහි බලයෙන් මම එහි අනිකුදු (සුව) අනුභව කෙළෙමි.

’’(ඒ) යම් යම් තැනක උපන්නීවූ මම මහත්වූ භෝග ඇත්තී, රූමත්වූවා, මහත් ධන ඇත්තී, නැණවත්වූවා, හික්මුනාවූ පිරිස් ඇත්තීද වෙමි. බුදුසසුන්හි යෙදීමෙන් (රැස්කළ) එම පුණ්‍යකර්‍මයෙන් මට සිතට ප්‍රියවූ සියළු සම්පත්තීහු සුලභයහ.

’’යම් යම් තැනක (උත්පත්ති වශයෙන්) ගිය මට යම් කිසිවෙක් ස්වාමියා වේද, (හෙතම මාගේ) ප්‍රතිපත්ති ඵලය කරණකොට ගෙන අවමන් නොකරයි.

’’මෙම මහා භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කොනාගමන නම්වූ බුදුරජතෙම ලොව පහළවූහ.

’’එකල්හි මම බරණැස් නුවර සමෘද්ධවූ කුලයක උපනිමි. ධනඤ්ජානියද, සුමෙධාවද, මමද යන අපි තිදෙන පෙර දාන සහායිකාවූවෝ, සඞ්ඝාරාමයක් දුනිමු. සඞ්ඝයා උදෙසා විහාරයක්ද කරවීමු.

’’අපි සියල්ලෝ එයින් චුතවූවාහු තව්තිසා දෙව්ලොවට ගියෙමු. මිනිසුන් අතරෙහි මෙන්ම ඒ දෙව්ලොවද කීර්තියෙන් අගතැන් පත්වීමු.

’’කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.

’’එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ ’’කිකී’’ නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.

’’එම රජුන්ගේ ’සමණී’යයි ප්‍රකටවූ ජ්‍යෙෂ්ඨ දුවණිය වීමි. බුදුරජුන්ගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.

’’(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් හවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.

’’(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්‍ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද,

’’එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල මමද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.

’’කිසියම් කලෙක්හි එම (කාශ්‍යප) බුදුරජතෙමේ ආශ්චර්‍ය්‍යවූ ධර්‍මය දෙසූහ. (මම) මහානිදාන සූත්‍රාන්තය අසා එය ප්‍රගුණ කර ගතිමි.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ සාගල පුරයෙහි, මන වඩන්නාවූ, දයාවත්වූ, ප්‍රියවූ මදුරජුන්ගේ දුවණියක් වීමි.

’’මාගේ උත්පත්ති මාත්‍රය සමගම එම පුරයෙහි ක්‍ෂෙමය විය. එහෙයින් මාගේ ’ඛෙම’ යන නම ගුණ වශයෙන් උපන්නේය.

’’යම් කලෙක්හි මම රූප ලාවන්‍යයෙන් අලඞ්කාරවූ යෞවන බවට පැමිණියා (වෙම්) ද, එකල්හි පියතෙම මා බිම්බිසාර රජුට දුන්නේය.

’’මම රූ නැලවුම්හි ඇලුනී, එම (බිම්බිසාර) රජුගේ ඉතා ප්‍රියවූ මෙහෙසිය වීමි. රූපයන්ගේ දොස් කියන්නෙකැයි මහත්වූ දයා ඇති තථාගතයන් වෙත නොඑළඹුනෙමි.

’’එකල්හි බිම්බිසාර රජ තෙමේ මට අනුග්‍රහ (කරන) සිතින් වෙළුවනාරාමය වර්‍ණනය කොට ගායකයන් ලවා මා හමුවෙහි ගායනය කරවීය. (කෙසේද යත්?)

’’බුදුරජුන්ගේ නිවාසස්ථානයවූ මනරම් වෙළුවනය යමෙකු විසින් නොදක්නාලද නම් ඔහු විසින් (දෙවියන්ගේ) නන්‍දනොද්‍යානය නොදක්නා ලද්දාක් මෙන් අපි හඟිමු.

’’මිනිස් (රජ) පුතුන් සතුටු කරවන්නාවූ වෙළුවනය, යමෙකු විසින් දක්නා ලද නම්, ඔහු විසින් දෙවියන් තුටු කරන නන්‍දනොද්‍යානය මැනවින් දක්නා ලදී.

’’දෙවියෝ නන්‍දනොද්‍යානය හැර පොළෝතලයට බැස මනරම් වෙළුවනය දැක අතිශය විශ්මය පත්වූවාහු තෘෂ්ක නොවෙත්.

’’රජුගේ පිණින් හටගත්, බුදුරජුන්ගේ පිණින් අලඞ්කාරවූ එම වනයාගේ සම්පූර්‍ණ ගුණ සමූහය කියන්නා කවරෙක්ද?

’’මාගේ කණට හා සිතට මිහිරක්වූ ඒ (ජෙත)වන සමෘද්‍ධිය අසා එකල්හි එම උයන දකිනු කැමැත්තී රජුට දැන්වීමි.

’’එකල්හි එම රජතෙම මහ පිරිවරින් යුතුව එය දැකුමට උත්සාහවත්වූ මා එම උයනට යැවීය. (කෙසේද යත්?)

’’මහා භොග සම්පත් ඇත්තිය, යනු මැනව. බුදු රැසින් රැඳුනාවූ යම් වනයක් හැම කල්හි ශ්‍රියාවෙන් බබලාද, නෙතට රසඳුනක්වූ (එම) වනය බලනු මැනව.

’’යම් කලෙක තථාගත තෙම උතුම්වූ ගිරිව්‍රජ නගරයට පිඬු පිණිස පිවිසියේද, එකල්හිම මම ජෙතවනය දැකීමට එළඹියෙමි.

’’එකල්හි මම (එහි) හැසිරෙන්නී, නොයෙක් බමර සමූහයා විසින් කුල්නා ලද්දාවූ, කෝකිල ගීතයෙන් යුක්තවූ, මයුර සමූයහා විසින් නැටුම් ඇති, නිශ්ශබ්දවූ, නොගැවසුනාවූ, බොහෝ සක්මන් (මලු)වලින් අලඞ්කාරවූ, කුටි හා මණ්ඩපයන්ගෙන් ගැවසීගත්, උතුම් යෝගීන්ගෙන් බබලන, පිපීගිය (ජෙත)වනය දැක මාගේ ඇස (ලැබීම) සඵලයයි සිතීමි. එහි භාවනාවෙහි යෙදුනු තරුණ භික්‍ෂුවක් දැක (මෙසේද) කල්පනා කෙළෙමි.

’’නව යෞවනයෙහි සිටියාවූ, වසන්ත කාලය වැනිවූ, මනකල් රුවින් යුත්, හිස මුඩුකළාවූ, සඟල සිවුර පෙරවූ, රුක්මුල්හි වැඩහුන් ඒ මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් කාමාරම්මණයන්ගෙන් හටගන්නාවූ ඇල්ම හැර මෙබඳු මනරම් වනයෙහිද ධ්‍යාන කරයි.

’’ගිහියා විසින් සුවසේ කම් සැප අනුභවකොට පසුව ජරපත්වූ ඔහු විසින් (මහළු වයසෙහි) ඉතා යහපත්වූ මෙම ධර්‍මයෙහි හැසිරිය යුත්තේ නම් නොවේද?’’

’’(බුදුරදුන් නැති බැවින්) ගඳකිළිය හිස්යයි සිතා (එම) සර්‍වඥ ගෘහයට එළඹ පවන් සලනු ලබන්නාවූ උතුම් ස්ත්‍රියක් සමග හුදකළාව සුවසේ වැඩ හුන්නාවූ, උදාවන හිරු වැනිවූ තථාගතයන් වහන්සේ දුටිමි. දැක මෙසේ සිතීමි. ’’මෙතෙම රූක්‍ෂ නර ශ්‍රේෂ්ඨයෙක් නොවේ.

’’ඒ (පවන් සලන) කන්‍යාතොමෝ රන්වන් පැහැ ඇත්තීය. පියුමකට බඳු මුහුණු හා ඇස් ඇත්තීය. (ඉදුන) බිඹුපලවන් තොල් ඇත්තීය. කොඳ (කැකුළු) වැනි දසන් ඇත්තීය. සිතට හා නෙතට රසදුනක් වැන්නීය.

’’රන් ඔන්චිල්ලාවක් වැනි කන් ඇත්තීය. කුඹු වැනි මනා පියවුරු ඇත්තීය. සිහිනිඟ ඇත්තීය. මනාවූ උකුළු ඇත්තිය. රඹ වැනි කලවා ඇත්තීය. මනා අබරණ ඇත්තීය.

’’හැඳගන්නාලද රන්හුයින් වියූ උරහිස්වලින් යුත් සැට්ටය ඇත්තීය. හැඳගත් නීල වත් ඇත්තීය. තෘප්ත කළ නොහැකි රුවින්ද භාව-භාවයන්ගෙන්ද යුක්තවූවාය.

’’ඇය දැක මෙසේ සිතීමි. ’’මෙම අභිරූපිනිය ආශ්චර්‍ය්‍යයකි. මා විසින් මේ ඇසින් කිසි කලෙකත් නොදක්නා ලද විරීය.’’

’’ඉක්බිති ජරාවෙන් මැඩුනාවූ, දුර්‍වර්‍ණවූ, වැහැරී ගිය මුහුණු ඇති, ගිලිහුණු දත් ඇති, සුදුවූ හිස(කේ) ඇති, අපිරිසිදුවූ කෙළ සහිත මුඛය ඇත්තීය. හැකුලුනු කන් ඇති, සුදුවූ ඇස් ඇති, එල්බෙන පිළිකුල් කළ යුතු පියයුරු ඇති, රැලි වැටී පැතිරීගිය සියළු අවයව ඇති, නහර පැතුරුණු සිරුර ඇති, නැමුණු අවයව ඇති, සැරයටිය සහායකොට ඇති, හටගත් පඬුවන් පැහැ ඇති, වැහැරීගියාවූ, වෙව්ලන්නාවූ, බිම ඇද වැටුනාවූ ඕතොමෝ නැවත නැවත හුස්ම හෙලන්නීය.

’’ඉක්බිති මට ආශ්චර්‍ය්‍යවූ, ලොමු දැහැගන්නාවූ සංවේගයක් ඇතිවිය. ’’යම් තැනෙක්හි නැණහීනයෝ ආලෙත්ද, ඒ අපිරිසිදුවූ රූපයට නින්දා වේවා’’ (ය කියාය.)

’’එකල්හි ඔදවැඩි සිත් ඇති මහාකාරුණීකවූ තථාගත තෙමේ කළකිරුණාවූ සිත් ඇති (මා) දැක මෙම ගාථාවන් වදාළ සේක.

’’ඛෙමාවෙනි, ගිලන්වූ, අපිරිසිදුවූ, කුණුවූ, උතුරා යන්නාවූද, වැගිරි යන්නාවූද, නුවණ නැතියවුන් විසින් මැනවැයි සතුටුවනලද (මේ) සිරුර (දෙස) බලනු මැනව.

’’අශුභාරම්මණයෙහි එකඟකොට, මොනවට සමාධිගතකොට සිත වඩනු මැනව. කායගතාසතිය වේවා. කලකිරීම් බහුලකොට ඇත්තියක් වනු මැනව.

’’මේ ස්ත්‍රියගේ සිරුර යම්සේ නම් මේ සිරුරද එබඳුම වෙයි. මේ (මළාවූ ස්ත්‍රියගේ) සිරුර ඉදිමීම ආදී වශයෙන් උද්‍ධුමාතක අශුභාදියට පැමිණෙන්නේ (යම්සේ) නම් මේ සිරුරු (මරණින් පසු) එබඳුම වෙයි. ආධ්‍යාත්මිකවූ තමාගේ කයෙහිද ආලය දුරුකළ මැනව.

’’නිර්‍වෙදභාගීවූ සමාධියෙන් එකඟවූ සිත් ඇත්තේ විදර්‍ශනා වඩව. මානායුසය දුරු කරව. එහෙයින් මානය දුරුකිරීමෙන් සංසිඳුනී හැසිරෙන්නෙහිය.

’’රාගයෙන් රත්වූ යමෙක් තුමූ, තමා විසින් කළ දැල මකුළුවා මෙන් තමන් උපදවාගත් (තෘෂ්ණා) නමැති සැඩ පහරෙහි වැටෙත්ද, (නුවණැත්තෝ) මෙම තෘෂ්ණා නම්වූ බැම්මද කපා අපෙක්‍ෂා නැත්තාහු, කම් සුව හැර දමා පැවිදි වෙති.

’’ඉක්බිති නරසාරථීවූ තථාගත තෙමේ (ධර්‍මාවබෝධයට) සුදුසුවූ සිත් ඇති මා දැක, මාගේ හික්මීම පිණිස මහානිදාන සූත්‍රාන්තය දේශනා කළ සේක.

’’එම ශ්‍රෙෂ්ඨ සූත්‍රාන්තය අසා පෙර ඇසීම සිතට නගා ගතිමි. මම එහි සිටින්නීම දහම් ඇස පිරිසිදු කෙළෙමි.

’’එකෙණෙහි මහර්ෂීන් වහන්සේගේ පාමුල වැටී ඇවැත් දෙසුම පිණිස මෙම වචනය කීමි.

’’සර්‍වදර්ශීවූ තථාගතයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. කරුණාවට ආකරයක්වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. තරණය කරන ලද සසර සයුර ඇති බුදුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. අමෘත දායකයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා.

’’(දෙසා) මිසදිටු අවුලට අයත් පක්‍ෂයෙහි ඇතුළත්වූවා, කාමරාගයෙන් මුළාවූවාද (වීමි.) ඔබවහන්සේ විසින් සම්‍යක් උපායෙන් හික්මවන ලද්දී, විනයයෙහි ඇළුනීද වෙමි.

’’එබඳු බුදුවරුන්ගේ නොදැකීමෙන් දුර්භාග්‍යවූ සත්ත්‍වයෝ සසර සයුරෙහි මහ දුක් අනුභව කෙරෙත්.

’’යම් කලෙක්හි මම නුදුරෙහි සිට ලොවට පිළිසරණවූ, නොඇළුනාවූ, මරණය කෙළවර කළ බුදුරජුන් නොදුටුයෙම් නම් එම ඇවත දෙසමි.

’’අහිතවත් කෙනෙකැයි සැක කරන්නී, රූපයෙහි ඇළුනී, බොහෝ හිතවත්වූ අභිමත දැය දෙන්නාවූ (තථාගතයන් වෙත) නොපැමිණියෙම් නම් එම ඇවත දෙසමි’’ යි.

’’එකල්හි මධුර ස්වර ඇති, මහාකාරුණික බුදුරජතෙම මා අමාවෙන් තෙමන්නාක් මෙන්, ’’ඛේමාවෙනි, සිටිනු මැනවැ’’ යි වදාළ සේක.

’’එකල්හි (මම) උන්වහන්සේට සිරසින් වැඳ පැදකුණුකොට ගොස් රජතුමා දැක මෙම වචනය කීමි.

’’රජතුමෙනි, ආශ්චර්‍ය්‍යයකි. ඔබ විසින් මනාවූ උපායක් සිතන ලදී. (ජෙත)වනය දකිනු කැමැත්තිය විසින් නිවන දෙසන්නාවූ තථාගත තෙම දක්නා ලදී.

’’රජතුමෙනි, ඉදින් ඔබ විසින් කැමැත්ත දෙනු ලැබේ නම් ඒ තාදී ගුණ ඇති බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වන්නෙමි. මම බුදු වදන් කරණකොටගෙන රූපයෙහි කළකිරුනී වෙමි’’ යි කියායි. ( දෙවැනි බණ වරයි. )

’’ඒ රජතෙම ඇඳිලි බැඳගෙන, ’’සොඳුර තීහට අනුදනිමි. තීගේ පැවිද්ද සමෘද්‍ධ වේවා’’ යි කීය.

’’එකල්හි මම පැවිදිව අඩමසක් එළඹි කල්හි පහන් දැල්වීමද නිවීමද දැක කලකිරුනු සිත් ඇත්තී,

’’සියළු සංස්කාරයන් කෙරෙහි කළකිරුනී, ප්‍රත්‍යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්‍ෂවූවා, (කාමාදී) චතුරෝඝයන් ඉක්මවා රහත්බවට පැමිණියෙමි.

’’මම ඎද්‍ධියෙහිද වශීවීමි. (එසේම) දිව්‍යශ්‍රොත ධාතුයෙහිද, චෙතොපරිය ඥානයෙහිද වශීවෙමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. (මා විසින්) දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’බුදු සසුන්හිවූ අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද මට පිරිසිදු නුවණ පහළවිය.

’’මම විසුද්‍ධීන්හි දක්‍ෂවූවා, කථාවස්තුවෙහි විශාරදවූවා, විජමනය දන්නී, සසුනෙහි වශීබවට පැමිණියා වෙමි.

’’ඉක්බිති කොසොල් රජු විසින් බොජුන් වත්හි පුහුණුවූ ප්‍රශ්ණයක් විචාරණ ලද්දී තත්වූ පරිදි පවසන්නීය.

’’එකල්හි එම රජතෙම බුදුරජුන් වෙත එළඹ විචාළේය. යම් සේ මා විසින්ම (ඇයගෙන් උගත් පරිදි) එම ප්‍රශ්නයෝ විසඳන ලද නම් බුදුරජ තෙමේද එසේම වදාළ සේක.

’’නරොත්තමවූ තථාගත තෙම එම ගුණයෙහි තුටුවූයේ, ’’මහා ප්‍රාඥවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍ර වන්නීය’’ යි මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් ඛේමා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ඛෙමාථෙරියාපදානං අට්ඨමං.