ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
2. එකු පොසථිකා වග්ග
9. උප්පලවණ්ණාපදානය
’’ඎද්‍ධියෙහි පරතෙරට ගිය උත්පලවර්‍ණා භික්‍ෂුණීතොමෝ බුදුරජාණන්වහන්සේගේ සිරිපා වැඳ, මෙම වචනය කීවාය.
’’බුදුරජාණන් වහන්ස, (මා විසින්) සසර තරණය කරන ලදී. අචල පදයවූ නිවණට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලදී. (එය) ආරෝචණය කරමි.
’’බුදුසසුන්හි පහන්වූ යම් පමණ පිරිසක් ඇද්ද, යම් කෙනෙකුන්හට මාගේ (සිදුවූ යම්) අපරාධයක් ඇත්නම් (ඔවුහු) තථාගතයන් හමුයෙහි (මට) ක්‍ෂමා කෙරෙත්වා.
’’ඉදින් සසරෙහි සැරිසරන්නාවූ මාගේ වරදක් වන්නේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. එම අපරාධයට ක්‍ෂමා කෙරෙහිවා’’ යි (කියායි.)
’’මාගේ සසුන කරන්නියෙනි, ඎද්‍ධියද දක්වන්න. අද සිව් පිරිස යම්තාක් නම් (ඔවුන්ගේ) සැක දුරුකරන්න.
’’මහාවීරයන් වහන්ස, පැණවතුන් වහන්ස, පැහැ දරන්නවුන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ දුවක්මි. මා විසින් කිරීමට ඉතා අපහසුවූ බොහෝ දුෂ්කර කර්‍මයක් කරන ලදී.
’’මහා වීරයන් වහන්ස, මාගේ පැහැය උපුල් මලකට බඳුය. නම්න් උප්පල නමැත්තී වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේගේ දුහිතෘතොමෝ සිරිපා වඳියි.
’’බොහෝ නොයෙක් සිය ගණන් ජාතීන්හි රාහුල තෙමේද, මමද එකම ජාතියෙහි උපන්නාහු, සමවූ අදහස් ඇත්තෝ වූහ.
’’බොහෝ සෙයින් ජාතීන්හි මාගේ උත්පත්තිය (රාහුලයන් හා) එක්වම වේ. අන්තිම භවය පැමිණි කල්හි දෙදෙනම වෙන වෙන උත්පත්ති ඇත්තෝ වුහ.
’’පුත්‍ර තෙමේ රාහුල නම් වේ. දුහිතෘ තොමෝ උත්පල(වර්‍ණා) නම් වූවාය. වීරයන් වහන්ස, මාගේ ඎද්‍ධිය බලනු මැනව. ශාස්තෘන් වහන්සේට මාගේ බලය දක්වමි.
’’ළදරු වෙදකමෙහි දක්‍ෂ වෛද්‍යයෙක් තෙම අත්ලට ගත් තෙලක් මෙන් සිව්මහ සමුදුරු අත්ලෙහි දැමුවාය.
’’තරුණ කුමරුවෙක් තෙම චිත්තමුඤ්ජ නම් තෘණ විශෙෂය යම්සේ ඉදිරීනම් පොළොව උදුරා අත්ලෙහි බැහුවාය.
’’සක්වලක ප්‍රාණීන් මතුයෙහි වසා නන්වන් දියබිඳු නැවත වස්වා,
’’පොළොව වංගෙඩියක් කොට, බොරළු කැට ධාන්‍යකොට, සිනෙර පර්‍වතය මොහොලක් කොට (ඕතොමෝ) ලදැරියක මෙන් මැඩුවාය.
’’මම නම්න් උත්පල(වර්‍ණා) නම්වූ අභිඥාවන්හි වශීභූතවූ ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘවක් වෙමි.
’’පසැස් ඇතියාණන් වහන්ස, නානාවිධ (ඎද්‍ධි) විකුර්‍වණයන් කොට, ලෝක නායකයන් වහන්සේට දක්වා, නම් ගොත්ද අස්වා (සිරි)පා වඳිමි.
’’මහා මුණීන් වහන්ස, ඎද්‍ධියද වසඟකොට ඇත්තේ වෙමි. දිව්‍ය ශ්‍රොත ධාතුවද, (අනුන්ගේ සිත් දැනගත හැකි) චෙතොපරියඤාණයද වසඟකොට ඇත්තේ වෙමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’බුදුරජාණන් වහන්සේගේ බලයෙන් අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද, මාගේ නුවණ ඉතා පිරිසිදුය.
’’මහා මුනීන් වහන්ස, පළමු බුදුවරයන්ගේ හමුයෙහිද ඔබවහන්සේ (දැකීම) පිණිස මා විසින් බොහෝ පින් කරන ලදී.
’’මාගේ බුදුරජාණන් වහන්ස, මා විසින් පුරනලද යම් කුශල කර්‍මයක් වේ නම් (එය) සිහි කරනු මැනව. මහා වීරයන් වහන්ස, මා විසින් ඔබ වහන්සේ (දැකීම) පිණිස පින් රැස් කරන ලදි.
’’නුසුදුසු තැන් හැර බොහෝ දෙන (වරදින්) වලක්වන්නී, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ පිණිස මාගේ උතුම් ජීවිතය පරිත්‍යාග කරන ලදි.
’’දසකෙළදහස් වරක් මාගේ ජීවිතය දුනිමි. මාහි මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස මාගේ පරිත්‍යාගය වේ’’ ය කියායි.
’’එකල්හි කරන ලද ඇඳිලි ඇති, ඉතා විස්මයට පත්වු සියල්ලෝ, ’’ආර්‍ය්‍යාවෙනි, අනූපමවූ (මේ) ඎද්‍ධි පරාක්‍රමය කෙසේ වීදැ’’ යි ඇසූහ.
’’මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි නාග කන්‍යාවක් වීමි. (එම නාග) කන්‍යාවන් අතුරින් මැනවැයි සම්මතවූ (මම) නම්න් ’’විමලා’’ නම් වීමි.
’’බුදුසසුන්හි පහන්වූ මහොරග මහානාග තෙමේ ශ්‍රාවකයන් සහිතවූ මහත් තෙද ඇති පදුමුත්තර බුදුරජුන් පැවරිය.
’’රුවන් වැලි විසුරුවන ලද රුවන්මුවා මඩුවක්ද, රුවන්මුවා පළඟක්ද, රුවන්මුවා උපභෝග වස්තුවද,
’’රුවන් ධජවලින් සරසන ලද මාර්‍ගයද පිළියෙළ කළේය. හෙතෙම තූර්‍ය්‍යන් වාදනය කරමින් බුදුරජුන්හට පෙරගමන් කොට,
’’සිව් පිරිස සහිතවූ ඒ ලෝකනායක තෙමේ මහොරග නාගරාජයාගේ භවනයෙහිවූ උතුම් අසුනෙහි වැඩහුන් සේක.
’’මහත් යසස් ඇති නාගරාජතෙමේ උතුම්වූ ආහාර පාන ඛාද්‍ය භොද්‍ය පිළිගැන්වීය.
’’බුදුරජතෙමේ නුවණින් වළඳා, පාත්‍රයද සෝදා, මහත් ඎද්‍ධි ඇති නාගරාජයාහට අනුමෙවෙනි බණ දෙසූහ.
’’මහත් යසස් ඇති නාග කන්‍යාවෝ ප්‍රබෝධවත් බුදුරජුන් දැක ශාස්තෲන් වහන්සේට පහන් වූවාහුය. (නාග කන්‍යාවක් වූ මා විසින්) මනස නම්වූ සිත බඳනා ලදී.
’’මහාවීරවූ පදුමුත්තර නම් බුදුරජතෙම මාගේද සිත දැන එකෙණෙහි ඎද්‍ධියෙන් යුත් භික්‍ෂුණියක් දැක්වූහ.
’’ඒ විශාරදවූ භික්‍ෂුණී තොමෝ නොයෙක් ඎද්‍ධීන් දැක්වූවාය. හටගත් ප්‍රීති ඇති, ප්‍රමුදිතවූ බුදුරජුන්හට මෙසේ කීමි.
’’අධිකවූ සුමනා නම් භික්‍ෂුණියගේ මෙම ඎද්‍ධිය මම දුටිමි. (දැක) වීරයන් වහන්ස, ඕ තොමෝ කෙසේ ඎද්‍ධියෙහි අති විශාරද තැනැත්තියක් වූවාදැ’’ යි (ඇසීමි.)
’’මාගේ මුඛයෙන් හෙවත් අනුශාසනයෙන් උපන්නාවූ මහත් ඎද්‍ධිමත් ඖරසපුත්‍රී තොමෝ මාගේ අනුශාසනය කිරීම හේතුවෙන් ඎද්‍ධියෙහි අතිශය විශාරද වූවායයි (වදාළ සේක.)
’’එකල්හි මම බුදුරජුන්ගේ වචනය අසා මමද ඎද්‍ධියෙහි අතිශය විශාරදවූ එබඳු තැනැත්තියක් වෙමැ’’ යි මෙසේ පැතීමි.
’’පැමිණි උතුම්වූ චිත්ත සමාධි ඇති සුමනාතොමෝ ප්‍රමුදිතවූවාය. ලෝකනායකයන් වහන්ස, මමද මතු කාලයෙහි මෙබඳු තැනැත්තියක් වෙමි’’ යි (කීවාය.)
’’පැහැ විහිදෙන්නාවූ මඩුවෙහි මිණිමුවා පළඟක සංඝයා සහිතවූ බුදුරජුන් ආහාර පානයෙන් තෘප්තිකොට,
’’මාගේ වර්‍ණය මෙබඳු වේවා’’ යි නාගයින්ගේ උතුම්වූ අරුණ නම් මලක් පිදීය.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’ඉන් චුතවූ මිනිසත් බැව්හි උපන් මම බුදුවරයෙකුට උපුල් මල්වලින් වැසූ පිණ්ඩපාත දානයක් දුනිමි.
’’මින් එක්අනූවන කපෙහි මනොඥ ඇස් ඇති සියලු දහම්හි නුවණැස් ඇති විපස්සී නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
’’එකල්හි (මම) උතුම් බරණැස් නගරයෙහි සිටු දුවක්ව සංඝයා සහිතවූ ලෝකනායක බුදුරජුන් පවරා,
’’මහ දන්දී උපුල්වලින් බුදුරජුන් පුදා (එම උපුල්වල) වර්‍ණ ශෝභාව සිතින්ම පැතීමි.
’’කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
’’එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ ’’කිකී’’ නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
’’මම ඔහුගේ සමන ගුත්ත නම් දෙවැනි දුව වීමි. බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
’’(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් හවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
’’(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්‍ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද, රාජකන්‍යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ, (එම රජුගේ) දූවරුන් සත් දෙනෙකු වූ අපි ගිහිගෙහිම විසිදහසක් හවුරුදු කුමරි බඹසරෙහි හැසුරුනෙමු.
’’(එම සත් දෙන නම්) සමණීද, සමණගුත්තාද, භික්‍ඛුණීද, භික්‍ඛුදායිකාද, ධම්මාද, සත්වැනිවූ සඞ්ඝදාසියද,
’’(එම සත්දෙනා පිළිවෙළින් අප බුදුන් කල) මමද, මහා ප්‍රාඥවූ ඛේමාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, කිසාගෝතමියද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’ඉන් චුතව මිනිස් බැව්හි උතුම් කුලයක උපන්නී, මම උතුම්වූ, මටවූ කසාවතක් රහත් නමකට දුනිමි.
’’මම ඉන් චුතව අරිෂ්ඨ නගරයෙහි බමුණු කුලයෙක (රූ සපුවෙන් දුටුවන්) උමතු කරන්නාවූ, මනහරවූ තිරීටවච්ඡ නමැත්තහුගේ දුවක් වීමි.
’’මම ඉන් චුතව එක්තරා දනව්වක ඉතා සමෘද්‍ධ නොවූ කුලයෙක්හි උපන්නී එකල්හි හැල් (කෙතක්) රැකීමි.
’’මම පසේ බුදුරජුන් දැක පියුමෙන් වැසූ විලඳ පන්සියයක් දී, පන්සියයක් පුතුනුදු පැතීමි. ඔවුහුද පසේබුදුරජාණන් වහන්සේට මී පැණි දී (පුතුන් වීමට) පැතූහ. මම ඉන් චුතව අරණෙහි පියුම් ගැබක උපනිමි.
’’මම කසී රජුගේ මෙහෙසියව ලබන ලද පූජා සත්කාර ඇත්තීව නොඅඩුවූ පන්සියයක් රජ පුතුන් ප්‍රසූත කෙළෙමි.
’’යම් කලෙක්හි යොවුන්බවට පත් ඔවුහු දිය කෙළෙියට යෙදෙන්නාහු (එකල්හි) පත් ගිලිහී වැටෙන පියුමක් දැක (භාවනා වඩා) පසේබුදුවරයෝ වූහ.
’’ඒ මම එම උතුම් පුතුන්ගෙන් වෙන්වූවා, හටගත් ශෝක ඇත්තී (එම ආත්මභාවයෙන්) චුතව ඉසිගිලි (පව්වෙහි) පසෙකවූ ගමෙක්හි උපනිමි.
’’යම් කලෙක්හි (මම) වැඩිවියට පත්වූවා, දැන උගත්කම් ඇත්තී එකල්හි සිටි පුතුන්හට කැඳ ගෙන යන්නී, පසේබුදුවරුන් අට නමක් ගමට පිඬු පිණිස වඩිනු දැක පුතුන් සිහි කෙළෙමි. එකල්හි පුත්‍ර ප්‍රේමය කරණකොටගෙන මාගේ කිරි දහර නික්මිනි.
’’ඉක්බිති පහන් බවට පත්වූවා, උන්වහන්සේලාට සියතින් කැඳ පිළිගැන්වීමි. අනතුරුව මම ඉන් චුතව තිදසපුරයෙහිවූ නඳුනුයනෙහි උපනිමි.
’’මහාවීරයන් වහන්ස, මම කුඩා මහත් භවයෙහි සැරිසරා සුවදුක් විඳ, ඔබ වහන්සේගේ (දැකුම) පිණිස ජීවිතය පරිත්‍යාග කරන ලදී.
’’මෙසේ නානා විධ දුක්ද, විවිධ සම්පත්ද විඳ, අන්තිම භවය පැමිණි කල්හි සැවැත්නුවරෙහි මහත් ධන ඇති, සුඛිතවූ, එසේම සරසන ලද නන් රුවනින් බබලන, සියළු කාම සම්පත්තියෙන් සමෘද්‍ධවූ සිටු කුලයක උපන්නී.
’’මම සත්කාර කරන ලද්දාවූ, බුහුමන් කරන ලද්දාවූ, එසේම කුලයන් අතුරෙන් උසස්යයි සම්මත කුල ඇත්තී, අග්‍රවූ රූප ශෝභාවෙන් යුක්තවූවාද (වීමි.)
’’රූප භෝග සම්පත් කරණකොටගෙණ ඉතාම පැතියයුතු තැනැත්තියක් වීමි. බොහෝ සිය ගණන් සිටු පුතුන් විසින්ද පතන ලද්දියක් වීමි.
’’ගිහිගෙය හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසක් නොපැමිණි කල්හිම රහත් බවට පැමිණියෙමි.
’’මම ඎද්‍ධියෙන් අසුන් සිව් දෙනෙක් යෙදූ රියක් මවා ලෝකනාථවූ, ශ්‍රීමත්වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
’’මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා එළඹ (ඒ) සල් රුක් මුල්හි එකලාව සිටිනෙහිය. ඔබට රූපයෙන් ඔබ වැනි දෙවැන්නියක්ද නැත. මෙහි පැමිණි අනික් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය. නුවණ මඳ තැනැත්තිය, ඔබ සලෙලුවන්හට බිය නොවෙහිද?’’ මෙය දිනක් උත්පලවර්‍ණාවගෙන් මාරයා ඇසූ ප්‍රශ්නයෙකි.
’’ධූතියන් සිය දහසක් මෙහි ආවත්, ඔවුහු තා බඳුවූවත් ලෝමයකුදු නොසලමි. නොම තැති ගනිමි. මරුව, හුදකලාවූද මම තට නොබියෙමි.
’’මේ මම අතුරුදන් වෙමි. ඔබ කුසට හෝ පිවිසියෙමි. ඔබේ දෙබැම අතුරෙහි හෝ සිටින මා ඔබ නොදක්නෙහි.
’’සිතෙහි වසීවූයෙමි. මා විසින් සතර ඎද්‍ධිපාදයෝ මොනවට වඩන ලදහ. සියළු බන්ධනයන්ගෙන් මිදුනා වෙමි. ඇවැත්නි, එබැවින් තට බිය නොවෙමි.
’’කාමයෝ උල් ආයුධයකට සමානයහ. අධිකුට්ටනාර්ත්‍ථයෙන් හෙවත් ඊ පිට නොවන අර්ත්‍ථයෙන් (කොට) කඩුවක් වැනියහ. තෝ යම් හෙයකින් කාමරතිය හෙවත් කාමයෙහි ඇල්ම වඩනෙහි නම් දැන් මාගේ ඒ කාමරතිය අරතියති, හෙවත් නොඇලීමකි.
සියළු තන්හි තෘෂ්ණා තොමෝ නසන ලද්දීය. මොහඳුරු කඳ පලන ලදී. මරුව මෙසේ දැනගනුව. මාරය තෝ නටුයේ වෙහිය’’ යි (මාරයාට කීවාය.)
’’පිරිස් මැදදී පස්මරුන් දිනූ බුදුරජතෙමේ එම ගුණයෙහි තුටුවූයේ, ඎද්‍ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ.
’’මා විසින් ශාස්තෘතෙම ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
’’ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි යමක් පිණිස පැවිදිවූවාද, මා විසින් එම අර්ත්‍ථය ලබන ලදී. ක්‍ෂය කළ සියළු සංයෝජනයන් ඇත්තේද වෙමි.
’’චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය (යන සිව්පසය) හාත්පසින්, දහස් ගණන් මොහොතකින් මහාජනයා මා වෙත පිරිනමත්.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් උප්පලවණ්ණා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උප්පලවණ්ණාථෙරියාපදානං නවමං.