ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
1. යශවතී ප්‍රමුඛ භික්‍ෂුණීන්ගේ අපදානය
’’සියළු භවයෝ ක්‍ෂය කරන ලදහ. භව සන්ධීන්ගෙන් මිදෙන ලදහ. අපගේ සියළු ආශ්‍රවයනුදු නැත. මහා මුනීන් වහන්ස, (එය ඔබ වහන්සේට) සැළකරමු.
’’පෙර කුශල කර්‍මයක් (කොට) යම් කිසිවක් මැනවින් පතන ලදද, මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා පරිභෝගය කරන ලද්ද (අප විසින්) දෙන ලදී.
’’මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා බුදු පසේබුදු සව්වනට පරිභොගය සඳහා කරන ලද්ද (අප විසින්) දෙන ලදී.
’’භික්‍ෂූහට (පිදීම් වශයෙන්) ලොකු කුඩා කර්‍ම (කොට) මැනවින් පතන ලදී. මහා මුනීන් වහන්ස, මේ උසස් කුලයෙහි ඉපදීමට සුදුසු පින්කම්ද (අප විසින්) කරන ලදී.
’’එම කුශල මූලය කරණකොටගෙන මෙහෙයන ලද කර්‍ම සම්පත් ඇත්තාහු සාමාන්‍ය මනුෂ්‍යත්‍වය ඉක්මවූ ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නාහුය.
’’කරන ලද කර්‍මය රැස්වූ කල්හි ජාතියෙනුදු එක්ව අන්තිම භවයෙහිද එක්වම ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නියෝ (වෙමු.)
’’මහා වීරයන් වහන්ස, දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් ඇතුළු පුරයෙහි රූමත් වූවාහු, භෝග සම්පත් ඇත්තාහු, ලාභ සත්කාරයෙන් පුදන ලද්දියෝ (වෙමු.)
’’ගිහිගෙන් කලකිරී අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමු. (අපි) සියල්ලෝ කිහිප දිනකින් නිවනට පැමිණියෝ වෙමු.
’’චීවරද, පිණ්ඩපාතද, ගිලානප්‍රත්‍යද, සයනාසනද බොහෝ දෙන හැම කල්හි සත්කාර කරන ලද්දාවූද, පුදන ලද්දාවූද අප වෙත පමුණුවත්.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් යශවතී ප්‍රමුඛ අටළොස් දහසක් ක්‍ෂත්‍රිය කන්‍යා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යසවතීපමුඛඅට්ඨාරසභික්ඛුනීසහස්සාපදානං පඨමං.