ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
2. බ්‍රාහ්මණකන්‍යා භික්‍ෂුණීන්ගේ අපදානය
’’අසූහාර දහස් වරක් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නාහු මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ හමුවීමට පෙරම සියුමැලි අත් පා ඇත්තියෝ වීමු.
’’මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේට පෙරාතුවම වෛශ්‍ය, ශුද්‍ර කුලයන්හි උපන්නාහු සිව් දිවයිනෙහි දිව්‍ය, නාග, කින්නර, බොහෝ කන්‍යාවෝ වීමු.
’’කිසිවෙක් පැවිදිවූවාහු වෙති. බොහෝ දෙන සත්‍ය දක්නාහුද වෙති. මතු කාලයෙහි දෙවියෝද, කිඳුරෝද, නාගයෝද සත්‍යාවබෝධය කෙරෙත්.
’’සියළු යසස් අනුභවකොට, සියළු සම්පත්ද ලබා, ඔබ කෙරෙහි පැහැදීම ලැබුවාහු, මතු කාලයෙහි සත්‍යාවබෝධය කෙරෙති.
’’පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්ස, බමුණු කුලයෙහි උපන්, බමුණු දූවරුන්වූ අපි අපගේ හමුයෙහිදී ඔබ වහන්සේගේ පා වඳිමු.
’’සියළු භවයෝ නසන ලදහ. තෘෂ්ණාව මුල් සහිතව වනසන ලදහ. අනුශයයෝ සමුඡ්ඡේදය කරන ලදහ. පුණ්‍ය සංස්කාරයෝ පලා දමන ලදහ.
’’අපි හැම කල්හි සියලු සමාධීන් ගෝචරකොට ඇත්තාහු එසේම සමාපත්තීන්හි වශීවූවාහු, එසේම ධ්‍යානයෙන්ද, ධර්‍මරතියෙන්ද යුතුව වසන්නෙමු.
’’භව තෘෂ්ණාවද, අවිද්‍යාවද, සංස්කාරයෝද, ගෙවන ලදහ. ලෝක නායකයන් වහන්ස, නිර්‍වාණ පදයට යාම සඳහා අනුදැන වදාළ මැනවි.
’’තෙපි මට බොහෝ උපකාර ඇත්තෝය. බොහෝ කාලයක් මුළුල්ලෙහි කරන ලද කුසල් ඇත්තෝය. බොහෝ දෙනාගේ සැක හැර සියල්ලෝ පරිනිර්‍වාණයට යෙත්වා.
’’ඇතැම් භික්‍ෂුණීහු බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳ, එකවිට කරුණු දෙකක් සිදුවන ඎද්ධීන් කොට ආලෝකය දක්වත්. යලි අන්ධකාරය දක්වත්.
’’සඳු හිරු දක්වත්. මත්ස්‍යයන් සහිතවූ සාගරය දක්වත්. හාත්පස පර්‍වතයන් සහිත සිනෙරු පර්‍වතයද, පරසතු රුකද දක්වත්.
’’ඎද්‍ධියෙන් තව්තිසා භවනයද, යාමයද, තුසිතයද, මහත් ඵෙශ්චර්‍ය්‍ය ඇති පරනිර්මිත වසවර්ති දෙවියන්ද දක්වත්.
’’කිසිවෙක් බ්‍රහ්මයන්ද, මාහැඟි සක්මනක්ද දක්වත්. බඹ වෙසක් මවාගෙන නිර්‍වාණ ධර්‍මයද දෙසත්.
’’නොයෙක් පුදුම ඎද්ධීන් කොට ශාස්තෲන් වහන්සේට ඎද්ධිය දක්වා සියළු භික්‍ෂුණීහු බල දැක්වූහ. ශාස්තෲන් වහන්සේගේ පා වැන්දහ.
’’මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රොතධාතු ඥානයෙහිද වශීවෙමු. චෙතොපරියඥානයාගේද වශීවෙමු.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද අපගේ ඥානය ඔබ වහන්සේ සමීපයෙහිදී උපන්නේය.
’’පෙර බුදුවරුන් හා එක්වීම අප දක්වන ලදී. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා අපගේ පින්කම් බොහෝය.
’’මුනීන්‍ද්‍රයන් වහන්ස, අප විසින් කරන ලද යම් කුශල කර්‍මයක් වේ නම් එය සිහිකළ මැනව. මහා වීරයන් වහන්ස, අප විසින් ඔබ පිණිස පින් රැස් කරන ලදී.
’’මින් සියක් දහස්වන කපෙහි පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කුල නගරය වූයේ හංසවතී නම් පුරයයි.
’’හංසවතී නගර වාරයෙන් හැම කල්හි ගඞ්ගාවක් ගලා බසී. එම භික්‍ෂූහු ගඟෙහි කරදරයට පැමිණියාහු ගමන නොලබත්.
’’දෙතුන් දිනක්ද, සතියක්ද, මාසයක්ද, යලි සිව් වසකුදු සම්පූර්‍ණ විය. ඔවුහු ගමන නොලබත්.
’’එකල්හි එරට වැසිවූ ජටිල නම් උතුම් තැනැත්තෙක් විය. කරදරවූ භික්‍ෂූන් දැක ගඟෙහි ගෙයක් කරවීය.
’’එකල්හි ලක්‍ෂයකින් ගඟෙහි ගෙයක් කරවීය. මෙතෙරෙහි සංඝයාට විහාරයක්ද කරවීය.
’’ඒ ස්ත්‍රී පුරුෂයෝද, උසස් පහත් කුලයෝද එම ගෙය අසල තැනවූ විහාරයෙහි සම කොටසක් කරවූහ.
’’පැහැදි සිතින් යුතුව අපිදු අන්‍යවූ මනුෂ්‍යයෝද ඔහුගේ කර්මයෙහි කොටස්කරුවෝ වීමු. නගරයෙහිද, ජනපදයන්හිද,
’’ඒ බොහෝ ස්ත්‍රී පුරුෂයෝද, කුමාරයෝද, කුමාරියෝද, ගෙය සමීපයෙහි වූ විහාරයට වැලි විසිරවූහ.
’’වීථිය හැමද කෙසෙල් පුන් කලස් ධජ දුම් (සුවඳ) සුණු මල් (යන මේවායින්) ශාස්තෲන් වහන්සේට සත්කාරකොට,
’’ගෙය අසල විහාරය කරවා බුදුරජුන පවරා මහ දන් දී සම්‍යක් සම්බෝධිය පැතීය.
’’සව් සතුන් සසර සයුරින් තරණය කරවන්නාවූ පදුමුත්තර බුදුරජතෙම ජටිලහට අනුමෙවෙනි බණ දෙසූහ.
’’කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල්හි (මහා) භද්‍ර කල්පය වන්නේය. කුදු මහත් භවයෙහි සම්පත් අනුභවකොට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නේය.
’’යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් අතින් කරණ පිළියම් කළාහු නම් මතු කාලයෙහි සියල්ලෝ හමුවන්නාහුය.
’’එම කර්‍ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද දේව භවනයෙහි උපන්නාහු, ඔබගේ ඒ පරිචාරිකාවෝ,
’’අසංඛ්‍යවූ දිව්‍ය සම්පත්ද, අසංඛ්‍යවූ මනුෂ්‍ය සම්පත්ද බොහෝ කාලයක් අනුභව කරන්නියෝ, කුදු මහත් භවයෙහි හැසිරෙන්නෙමු.
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි කර්‍ම සම්පත්තිය මැනවින් කරන ලදී. මිනිසුන් අතරෙහි සිව්මැලි තැනැත්තියෝ වීමු. යලි දිව්‍ය පුරවරයෙහි
’’රූපය, භොගය, යසස්ය, යලි කීර්තියද, සත්කාරයද යන සියල්ල හැම කල්හි ලබමු. එය මැනවින් කරන ලද කර්‍ම සම්පත්තියයි.
’’අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ මැදුරෙහි සිවුමැලි අත් පා ඇත්තාහු බමුණු කුලයෙහි උපන්නියෝ වෙමු.
’’හැම කල්හිම නොසැරසූ භූමිය නොදුටිමු. මහා මුනීන් වහන්ස, අපිරිසිදුවූ මඩ සහිත බිමක් නොදකිමු.
’’අප ගිහිගෙහි වසන කල්හි හැම කල්හිවූ සියළු සත්කාර අපගේ කර්‍ම බලයෙන් (වෙතට) පැමිණෙති.
’’ගිහිගෙය හැර අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිව සසර මග ගෙව්වාහු, පහවූ රාග ඇත්තියෝ වෙමු.
’’චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍යය, සයනාසන හැම කල්හි අප වෙත ඒ ඒ තැනින් දහස් ගණනින් පැමිණෙත්.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් අසූහාර දහසක් බ්‍රාහ්මණ කන්‍යා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චතුරාසීතිභික්ඛුනීසහස්සාපදානං දුතියං.