ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
3. උප්පලදායිකාපදානය
’’අරුණවතී නගරයෙහි අරුණ නම් ක්‍ෂත්‍රියයෙක් විය. මම එම රජුන්ගේ භාර්‍ය්‍යාව වෙමි. එක්වම හැසිරෙමි.
’’මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි. මාගේ ගෙන යා යුතු, මා විසින් කරන ලද කුශල කර්‍මයක් නැත.
’’මහත් තැවුම් ඇති, කටුකවූ, ඝෝර ස්වරූපවූ, අති දරුණුවූ නිරයට ඒකාන්තයෙන් යමි. මෙහි මාගේ සැකයක් නැත.
’’මම මෙසේ සිතා සිත පහදවා රජු වෙත එළඹ මෙම වචනය කීමි.
’’දේවයන් වහන්ස, ස්ත්‍රීන් නම්වූ අපි හැම කල්හි පුරුෂයන් අනුව ගියෝ වෙමු. රජතුමනි, මා එක ශ්‍රමණයන් වහන්සේ නමක් දෙනු මැනවි. වළඳවන්නෙමි.
’’එකල්හි රජ තෙමේ වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් මට දුන්නේය. උන්වහන්සේගේ පාත්‍රය ගෙන උතුම්වූ ආහාරයෙන් පිරවීමි.
’’සුවඳ විලවුන් සහිත උතුම් ආහාරය පුරවා මහ සලුවකින් වසා සතුටු සිතින් දුනිමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
’’දහසක් දෙව් රජවරුන්හට මෙහෙසි බව කෙළෙමි. දහසක් සක්විති රජවරුන්හටද මෙහෙසිබව කෙළෙමි.
’’මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නොහැකිය. ඉක්බිති අන්‍යවූ නානාවිධ බොහෝ (සම්පත්ද විඳින ලදී.) එම කර්‍මයාගේ විපාකයයි.
’’මාගේ වර්‍ණය උපුල් මලකට බඳුවිය. මනා රූ දැකුම් ඇති, දැකුම්කළුවූ, ශ්‍රේෂ්ඨ ජන්ම ඇත්තාවූ, පැහැ විහිදෙන්නාවූ, සියළු (පිරිපුන්) අඟ පසඟින් යුක්තවූ ස්ත්‍රියක් වීමි.
’’අන්තිම භවය පැමිණි කල්හි සුදේධාදන පුත්‍රයාගේ ස්ත්‍රීන් දහසකට ප්‍රමුඛවූ මම ශාක්‍ය කුලයෙහි උපනිමි.
’’මම ගිහිගෙයි කලකිරී අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. සත්වෙනි රැයට නොපැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි.
’’චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍යය, ශයනාසන (යන සිව්පසය) පමණ කරන්නට නොහැක්කෙමි.
’’මුනීන්‍ද්‍රයන් වහන්ස, මාගේ පූර්‍වයෙහිවූ යම් කුශල කර්‍මයක් සිහි කෙරෙම් නම්, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ සඳහා මා විසින් බොහෝ දැය පරිත්‍යාග කරන ලදී.
’’මින් එක් තිස්වන කපෙහිවු එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
’’දෙව් අත්බවද, මිනිසත් බවද යන දෙගතිය දනිමි. අනික් ගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
’’මහත් ධන ඇති, උසස්වූ මහාසාර කුලයෙහි උපදිමි. අනික් කුලයක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
’’කුශල මූලයෙන් මෙහෙයන ලද්දී, කුදු මහත් භවයෙහි සැරිසරා දොම්නස්වූ දෙයක් නොදනිමි. සොම්නසින් කළ කුශල ධර්‍මයාගේ මේ විපාකයයි.
’’මහා මුනීන් වහන්ස, ඎද්‍ධීන්හිද, දිව්‍යශ්‍රොතධාතුඥානයෙහිද වශීවෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද, මාගේ ඥානය ඔබවහන්සේගේ සමීපයෙහිදී උපන්නේය.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
ඉත්ථං සුදං උප්පලදායිකා භික්ඛුනී භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
උප්පලදායිකාථෙරියාපදානං තතියං.