ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
4. සිඟාල මාතා පදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළවිය.
’’එකල්හි මම හංසවතී නගරයෙහි සමෘද්‍ධිවූ, සම්පත්තීන් පිරුණාවූ, නන්රුවනින් බබලන ලද මහත් ධන ඇති ඇමති කුලයෙහි උපන්නී වෙමි.
’’මහජනයා විසින් පෙරටු කරන ලද්දී, පියා සමග ගොස් බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
’’පැවිදිව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග් දුෂ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
’’බුදුරජුන් කෙරෙහි පැහැදුනා, ධර්‍මය කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහිද, දැඩි ගෞරව ඇත්තී, සදහම් ඇසුමෙහි යෙදුනා, බුදුරජුන් දැකුමෙහි ලොල්වූවා,
’’එකල්හි භික්‍ෂුණියක් බැසගත් සැදැහැ ඇත්තියන් අතුරෙන් අග්‍රයයි ඇසීමි. එම තනතුර පතා ත්‍රිශික්‍ෂාවන් පිරීමි.
’’ඉක්බිති කරුණාව අනුව ගිය සිත් ඇති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක. ’’යමෙකුගේ ශ්‍රද්‍ධා තොමෝ තථාගතයන් කෙරෙහි නිශ්චලව මැනවින් පිහිටියාද,
’’යමෙකුගේ යහපත්වූ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන ලද්දාවූ, පසසන ලද්දාවූ ශීලයද, සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදයද, (එසේම) ඎජුවූ දෘෂ්ටියද ඇත්තේ නම් හේ දිළින්දෙක් නොවේ’’ යයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය.
’’එහෙයින් නුවණැත්තේ, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කෙරෙමින් ශ්‍රද්‍ධාවෙහිද, ශීලයෙහිද, ප්‍රසාදයෙහිද, ධර්‍ම දර්‍ශනයෙහිද, යෙදෙන්නේය.
’’එය අසා ප්‍රමුදිතවූ මම මාගේ ප්‍රාර්ත්‍ථනය ගැන විචාළෙමි. එකල්හි අලාමකවූ, අපමණ ගුණ ඇති තථාගත තෙම (මෙසේ) වදාළසේක.
’’බුදුරජුන් කෙරෙහි පැහැදුනාවූ කලණ තැනැත්තිය, (තී) මේ මැනවින් පතන ලද්ද ලබන්නෙහිය. මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ඖරස (බුද්‍ධපුත්‍රී) වූ, ධර්මයෙන් නිර්මිත කරන ලද්දාක් වැනිවූ, ’’සිඟාල මාතා’’ නම් ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නේය.’’
’’එකල්හි එය අසා ප්‍රමුදිතව, ලෝකනායකවූ බුදුරජුන්හට මෙත් සිතින් ප්‍රතිපත්තීන් කරණකොටගෙන පරිවරණය කෙළෙමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දේව්ලොවට ගියෙමි.
’’දැන් මේ අන්තිම භවයෙහි, උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි, සමෘද්‍ධවූ බොහෝ රත්න සමූහ ඇති සිටු කුලයෙහි උපන්නී,
’’නොමගෙහි ඇළුනාවූ, මිථ්‍යාදෘෂ්ටිගතුවන්ගෙන් ආකුල පක්‍ෂයෙහිවූ, දිශාවන් පිදීමෙහි නියැලිවූ, මාගේ සිඟාලක නම් පුත්‍රයෙක් විය.
’’නගරයට පිඬු පිණිස වඩින්නාවූ බුදුරජතෙම නොයෙක් දිශාවන්ට නමස්කාර කරන්නාවූ ඔහු දැක මාර්‍ගයෙහි සිට අවවාද කළ සේක.
’’දහම් දෙසන්නාවූ උන්වහන්සේගේ බ්‍රහ්ම ස්වරය විය. විස්මයද විය. දෙකෙළක් ස්ත්‍රී පුරුෂයන්හට ධර්මාභිසමයද විය.
’’එකල්හි මම (එම) පිරිස වෙත ගොස් බුද්‍ධ දේශනාව අසා සෝවාන් ඵලයට පැමිණියා, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’බුද්‍ධ දර්‍ශනයෙහි ලොල්වූ මම නොබෝ කලකින්ම එම (බුද්‍ධ) අනුස්සතිය වඩා රහත් බවට පැමිණියෙමි.
’’මම බුදුන් දැකීම සඳහා හැමදාම යෙමි. නයනානන්‍දවූ (උන්වහන්සේගේ) රූපය අතෘප්තවූවාම බලමි.
’’සියළු පාරමිතාවන්ගෙන් හටගත්තාවූ, ලක්ෂ්මියගේ වාසස්ථානයවූ, සියළු සුභයන්ගෙන් ගැවසී ගත්තාවූ, උතුම්වූ රූපය (දෙස) අතෘප්තවූ මම බලමි.
’’එම ගුණයෙහි සතුටුවූ බුදුරජතෙම යම් සිඟාල මාතාවක් වූවාද, ඕ බැසගත් සැදැහැ ඇත්තියන් අතුරින් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ.
’’මහා මුනීන් වහන්ස, ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද, වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
’’පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහි උපන්නේය.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
ඉත්ථං සුදං සිඞ්ගාලමාතා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
සිඞ්ගාලමාතුථෙරියාපදානං චතුත්ථං.