ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
5. සුක්කාපදානය
’’මින් පෙර එක් අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති සියළු ධර්‍මයන් විශිෂ්ඨ ලෙස දක්නාවූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
’’එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක උපන්නී බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’බහුශ්‍රුතවූ, ධර්මධරවූ, වැටහෙන නුවණ ඇත්තාවූ, එසේම විචිත්‍ර කථිකවූ බුදුසසුන කරන්නියක් වීමි.
’’එකල්හි ජන සමූහයාට හිතවූ බොහෝ දහම් කථාකොට ඉන් චුතවූ මම යසස් ඇත්තී තුෂිත පුරයෙහි උපන්නී වෙමි.
’’මින් එක්තිස්වන කපෙහි යසසින් ලෙව්හි දිලිසෙන්නාවූ, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, ගින්නක් මෙන් (බබලන්නා)වූ සිඛී බුදුරජතෙම ලොව පහළ විය.
’’එකල්හිදු පැවිදිව බුදුසසුන්හි දක්‍ෂවූවා බුදුවදන් බබුලුවා එයිනුදු චුතව දෙව්ලොවට ගියා,
’’මින් එක්තිස්වන කපෙහි මහ නුවණැති වෙස්සභූ නම් බුදුරජතෙම ලොව පහළ විය. එකල්හිදු එසේම මම,
’’පැවිදිව ධර්මධරවූවා බුදුසසුන බැබලවීමි. රම්‍යවූ දිව්‍යපුරයට ගොස් මහත් සැපද අනුභව කෙළෙමි.
’’මෙම භද්‍ර කල්පයෙහි නරශ්‍රෙෂ්ඨවූ කකුසඳ නම් බුදුරජතෙම ලොව පහළ විය. එකල්හිදු එසේම මම,
’’පැවිදිව දිවි ඇතිතාක් සර්‍වඥ මතය හොබවා ඉන් චුතව මම සිය විමනට යන්නාක් මෙන් දෙව්ලොවට ගියෙමි.
’’මෙම කල්පයෙහි ලොවට පිළිසරණවූ, අමෘතය අවබෝධ කළාවූ, (කාමයන්හි) නොඇළුනාවූ කෝණාගමන බුදුරජතෙම ලොව පහළ විය.
’’එකල්හිදු තාදී ගුණ ඇති උන්වහන්සේගේ සසුනෙහි පැවිදිව බහුශ්‍රුතවූවා, ධර්මධරවූවා, බුදුසසුන බැබලවීමි.
’’මෙම කල්පයෙහිම පුරුෂොත්තමවූ, ලොවට ඇසක් වැනිවූ, නොඇලෙන්නාවූ, මරණයෙහි කෙළවරට ගිය කාශ්‍යප බුදුරජතෙම ලොව පහළ විය.
’’එම බුදුරජාණන් වහන්සේගේද සසුනෙහි පැවිදිව, ප්‍රගුණ කරන ලද සදහම් ඇත්තී, නොදත් දේ ඇසීමෙහි දක්‍ෂවූවා,
’’මනා සිල් ඇත්තී, (පවට) ලජ්ජා ඇත්තී, ත්‍රිශික්‍ෂාවන්හි දක්‍ෂවූවා මහා මුනීන් වහන්ස, දිවි ඇතිතාක් බොහෝ ධර්‍ම කථා කොට
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත පුණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
’’දැන් අන්තිම භවයෙහි උතුම්වූ ගිරිව්‍රජ පුරයෙහි සමෘද්‍ධ, බොහෝ රුවන් ඇති සිටු කුලයක උපන්නී,
’’යම් කලෙක්හි භික්‍ෂූන් දහසක් විසින් පිරිවරන ලද බුදුරජතෙම රජගහ නුවරට එළඹියේද, (එකල්හි) ශක්‍රයා විසින් වර්‍ණනා කරන ලද්දේ විය.
’’දැමුනාවූ, විශේෂයෙන් (කාමාදී කෙලෙසුන් කෙරෙන්) මිදුනාවූ භාග්‍යවතුන් වහන්සේ නගාගත් රන් නිකකට බඳු පැහැ ඇති සේක්, දැමුනාවූ, විශේෂයෙන් මිදුනාවූ පුරාණ ජටිලයන් හා රජගහනුවරට වැඩි සේක’ යි (කියායි.)
’’එම බුද්‍ධානුභාව දැක, ගුණ සමූහයද අසා, බුදුරජුන් කෙරෙහි සිත පහදවා උන්වහන්සේට ශක්ති පමණින් පිදීමි.
’’මෑත කාලයෙහි ගිහිගෙන් නික්ම ධම්මදින්නාවගේ සමීපයෙහි අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’මම හිස බාන කල්හි කෙලෙස් දැවීමි. මම පැවිදිව නොබෝ කලකින් සියළු සසුන ඉගෙන ගතිමි.
’’ඉක්බිති මහා ජන සමූහයා හමුයෙහි දහම් දෙසීමි. දහම් දෙසන කල්හි නොයෙක් දහස් ගණන් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය. එය දැන ඉතා විෂ්මයට පත්වූ, අති පහන්වූ දෙවියෙක් තෙම ගිරිව්‍රජ නගරයට ගොස්,
’’මේ රජගහ නුවර මනුෂ්‍යයෝ කුමක් කරන ලද්දාහු මධු පානය කළාහු මෙන් සිටිත්ද? යමෙක් තුමූ යහපත්වූ අමා පිය දෙසන්නිය වෙතට නොඑළඹෙත් නම්,
’’එය නොපසුබස්නා ගති ඇති, නොවැගිරෙන්නාවූ ඔජාවක්වූ, මේඝයක් වෙතට නොයන මගියෙකු මෙනි. නුවණැත්තෝ එය පානය කරන්නවුන් වැනි වෙතියි’’ යි (කීය.)
’’මහා මුනීන් වහන්ස, ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහි උපන්නේය.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
ඉත්ථං සුදං සුක්කා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
සුක්කාථෙරියාපදානං පඤ්චමං.
පඤ්චමං භාණවාරං.