ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

4. ඛත්තියා වග්ග

6. රූපනන්‍දාපදානය

’’මින් එක්අනූවන කපෙහි සියලු ධර්‍මයන් විෂයයෙහි නුවණැස් ඇති, මනොඥවූ නෙත් ඇති විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවීය.

’’එකල්හී මම බන්ධුමතී නගරයෙහි සමෘද්‍ධවූ සම්පත්තීන් පිරීගියාවූ මහා කුලයක උපන්නී, මනා රූ ඇත්තී, දයා ඇත්තී, ජනයා විසින් පිදියයුතු තැනැත්තියක් වූවා වෙමි.

’’මහා වීරවූ විපස්සී බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ධර්‍මය අසා තථාගතයන් සරණකොට ගියෙමි.

’’ශීල සංයමය ඇත්තීව තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ධාතු ස්ථූපය මතුයෙහි ස්වර්‍ණමය කුඩයක් පිදීමි.

’’දිවි ඇතිතාක් ත්‍යාග සම්පන්නවූවා, සිල්වත්වූවා, ඉන් චුතව මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියා වීමි.

’’එකල්හි කරුණු දහයකින් සෙසු දෙවියන් මැඩ රූප, ශබ්ද දෙකින්ද, ගන්ධ, රස, ස්පර්‍ශයන්ගෙන්ද, ආයුෂින්, වර්‍ණයෙන්, සැපයෙන් හා යයසින්ද, එසේම ආධිපත්‍යයෙන්ද මම උසස්ව බැබලීමි.

දැන් මේ අන්තිම භවයෙහි මම කපිලවස්තු පුරයෙහි උපන්නී, ඛොමක නම් ශාක්‍යයාගේ දුව වූවා, නන්දා නම්න් ඉතා ප්‍රසිද්‍ධ වූවා (වීමි.)

’’යම් කලෙක්හි මම යොවුන්බවට පැමිණියා, රූප ලාවන්‍යයෙන් අලඞ්කාරවූවා, මාගේ මනරම් බව පවසන්නාවූ නම මුලට අභිරූප නම් තවත් පදයක්ද විය.

’’එකල්හි මා සඳහා ශාක්‍යයන්ගේ අති මහත් විවාදයක් විය. ඉක්බිති පියතෙමේ ශාක්‍යයෝ නොවැනසෙත්වායි මා පැවිදි කරවීය.

’’පැවිදිව මාගේ රූපයෙන් ආඩම්බර වූවා රූපයෙහි දොස් දක්වන්නාවූ, නරෝත්තමවූ තථාගතයන් වහන්සේ වෙත නොඑළඹෙමි.

’’බුදුරජුන් දැකීමෙහි බියවූවා ඔවා ඇසීමටද නොයමි. එකල්හි තථාගත තෙම උපායයෙන් (මා) තමන් වහන්සේ සමීපයට පමුණුවා,

’’සත්ත්‍වයින් හික්මවීමේ මගෙහි නිපුණාවූ සර්‍වඥ තෙමේ, ඎද්‍ධි බලයෙන්, දිව්‍යප්සරා රූපයක් වැනිවූ තරුණියක්ද, ජරපත් තැනැත්තියක්ද, මළ තැනැත්තියක්දැයි ස්ත්‍රීන් තිදෙනෙක් දැක්වූහ.

’’එම සත්‍රීන් දැක සංවේගයට පත්වූවා, සිය සිරුරෙහි නොඇළුනී, භවයෙහි කලකිරුනීව සිටියෙමි. ලෝකනායක තෙමේ එකල්හි මට මෙසේ වදාළ සේක.

’’නන්දාවෙනි, බාලයන්ගේ සතුට ඇතිකරන්නාවූ, ගිලන්වූ, අපිරිසිදුවූ, කුණුවූ, උඩට දමන්නාවූ, යටින් වැගිරෙන්නාවූ පඤචස්කන්ධය දෙස බලන්න.

’’අශුභාරම්මනයෙහි එකඟවූ, මැනවින් පිහිටුවාගන්නාලද සිත වඩනු මැනවි. මේ සවිඥානක පඤ්චස්කන්ධය යම්සේ නම්, ඒ අවිඥානක පඤ්චස්කන්‍ධයද එසේය. ඒ අවිඥානක පඤ්චස්කන්ධය යම්සේ නම්, මේ සවිඥානක පඤ්චස්කන්‍ධයද එසේය.

’’මෙසේ මේ අශුභය දෙස බලන්නී, දිවා රෑ දෙක්හි අනලස්වූවා, ඉක්බිති ස්වකීය ප්‍රඥාවෙන් කලකිරී වසන්නෙහිය.

’’මේ සසුනෙහි නුවණින් යුතුව අප්‍රමාදයෙන් (වෙසෙන) ඒ මා විසින් ඇතුළත, පිටත සහිතවූ මේ කය තත්වූ පරිදි දක්නා ලදී.

’’ඉක්බිති මම කයෙහි කලකිරී (එසේම) මම (එහි) සිතද නොඅලවා, අප්‍රමාදීවූවා, (පඤ්චස්කන්‍ධයෙහිවූ ඇල්මෙන්) වෙන්වූවා, සන්සිඳීමට පත්වූවා, නිවණට පැමිණියා වෙමි.

’’මහා මුනීන් වහන්ස, ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.

’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහි උපන්නේය.

’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.

’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

ඉත්ථං සුදං අභිරූපනන්දා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.

අභිරූපනන්දාථෙරියාපදානං ඡට්ඨං.