ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

4. ඛත්තියා වග්ග

7. අඩ්ඪකාසි අපදානය

’’මෙම භදු කල්පයෙහි කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, මහත් යසස් ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළ විය.

’’එකල්හි මම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදිව ප්‍රාතිමොක්‍ෂ ශීලයෙහිද, පඤ්චෙන්‍ද්‍රිය සංවරයෙහිද, සංවෘත වූවා,

’’ආහාරයෙහි පමණ දන්නී, නිදිවැරීමෙහි යෙදුනී, යෝගී බැව්හිද යෙදුනීවූ මම, පහවූ ආශ්‍රව ඇති, (රහත්වූ) භික්‍ෂුණියකට දුෂ්ට සිත් ඇත්තී, ආක්‍රොෂ කෙළෙමි. ’’ගණිකාවකැ’’ යි කීමි. එකල්හි එම පාපය කරණකොටගෙන නිරයෙහි පැසුනෙමි.

’’එම කර්‍මයාගේම අවශේෂ විපාක වශයෙන් බෙහෙවින්ම අනුන් අයත්වූ ගනිකා කුලයෙහි උපනිමි. අන්තිම ජාතියෙහිද,

’’මම කසී රටෙහි සිටු කුලයක උපන්නී, බඹසර රැකීමේ ඵලයෙන් දිව්‍ය අප්සරාවක මෙන් රූප සම්පත්තිය ඇත්තියක් වීමි.

’’දර්‍ශනීයවූ මා දැක මාගේ (ඒ) ආක්‍රෝෂ කිරීමේ ඵලයද කරණකොටගෙන උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි ගණිකා බැව්හි වැස්වූහ.

’’ඒ මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්‍මය අසා පූර්‍ව වාසනාවෙන් යුක්තවූවා, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’ඉක්බිති උපසම්පදාවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ සමීපයට යන්නී, ධූර්‍තයන් මග සිටින කල්හි (එය) අසා දූතොපසම්පදාව ලැබීමි.

’’සියලු කර්‍මය ක්‍ෂය විය. එසේම කුශලාකුශලයන්ද ක්‍ෂයවිය. සියලු සසරිනුදු එතරවූවා, ගණිකාබවද ගෙවන ලදී.

’’මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.

’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහිදී උපන්නේය.

’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.

’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

ඉත්ථං සුදං අඩ්ඪකාසි භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.

අඩ්ඪකාසිථෙරියාපදානං සත්තමං.