ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

4. ඛත්තියා වග්ග

8. පුණ්ණාපදානය

’’විපස්සී බුදුරජාණන් වහන්සේගේද, සිඛීය, වෙස්සභූය, කකුසඳය, තාදි ගුණ ඇති කොණාගමනය යන මේ බුදුරජාණන් වහන්සේලාගේද,

’’කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේද සසුනෙහි පැවිදිව, ප්‍රඥාවත්වූ, සංවරණය කරන ලද ඉන්‍ද්‍රියයන් ඇති සිල්වත් භික්‍ෂුණියක් වීමි.

’’බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී, තෙවලා දහම් සිත්හි ලා දරන්නී, ධර්‍මාර්ත්‍ථයන් විචාරන්නී, දහම් ඉගෙනගන්නී, අසන්නී, (ධර්‍මය) භජනය කරන්නී,

’’මම ජන සමූහයා මැද (දහම්) දෙසන්නියක් වීමි. මම බුදුසසුන්හි (ඇතිවූ) එම බහුශ්‍රුතබව කරණකොටගෙන සිල්වතුන්ට අවමන් කෙළෙමි.

’’දැන් අන්තිම භවයෙහි උතුම්වූ සැවැත් නුවරෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙහි දිය අදිනා ස්ත්‍රියකගේ කුසෙහි උපන්නී (වෙමි.)

’’දිය ගෙන ඒමට ගියා, ජලය මධ්‍යයෙහි සීතෙන් පීඩිතවූ සොත්‍ථිය නම් බමුණා දුටිමි. ඔහු දැක මෙසේ කීමි.

’’මම දිය අදිනා දාසියක් වෙමි. ස්වාමිවරුන්ගේ දඬුවම් බියෙන් බියපත්වූවා, මාගේ දෝෂ භීතියෙන් ආතුරවූවා, හැම කල්හි ශීතෙහි දියට බැස්සෙමි.

’’බමුණ, ඔබ කවරෙකුට බියවූයේ, සැලෙන ගතින් යුතුව, හැමකල්හි දියට බැස්සේ, දැඩි ශීතය විඳිනෙහිද?

’’පින්වත් පුණ්ණාවෙනි, කරන ලද පව් වළක්වන්නාවූ, කුශල කර්‍මයක් කරන්නාවූ මා ගැන දන්නාවූ තී විචාරහිය.

’’යම් මහළු කෙනෙක් හෝ, ළදරු කෙනෙක් හෝ, පව්කමක් කෙරෙත්ද, පින්වතිය, දියෙහි ගිලීමෙන් (ඔවුහු) (එම) පව්කමින් මිදෙති.

’’දියෙන් ගොඩ එන්නාවූ එම බමුණාහට ධර්‍මාර්ත්‍ථයන්ගෙන් යුක්තවූ වචනයක් කීමි. හෙතෙමේද එම (ධර්‍ම) වචනය අසා කලකිරුනේ පැවිදිව රහත්විය.

’’යම් හෙයකින් එකකින් අඩු සියයක් පුරවමින් දැස් කුලයෙහි උපන්නී වෙම්ද, එහෙයින් මාගේ නම ’’පුණ්ණා’’ නම් විය. ඒ ස්වාමිවරු මා දාසබැවින් මිදුනු තැනැත්තියක් කළහ.

’’ඉක්බිති සිටුවරයාද තම අදහස අනුව සතුටු කරවා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. නොබෝ කලකින්ම රහත්බවට පැමිණියෙමි.

’’මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.

’’අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්‍මලය, පිරිසිදුය.

’’භාවනා බලයෙන් මහ පැණැත්තියක් වීමි. බහුශ්‍රුත බලයෙන් ශ්‍රුතවත් තැනැත්තියක් වීමි. මානය කරණකොටගෙන පහත් කුලයෙහි උපන්නී වෙමි. කර්‍මය නම් විනාශ නොවේ.

’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.

’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

ඉත්ථං සුදං පුණ්ණිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.

පුණ්ණිකාථෙරියාපදානං අට්ඨමං.