අංගුත්තර නිකාය
එක නිපාතය
2. රථකාර වර්ගය
11. ඤාතභික්ඛු සූත්‍රය
“මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්‍රසිද්ධ භික්ෂුව බොහෝදෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථය පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද?
“නුසුදුසුවූ කාය කර්මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු වාක් කර්මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු මනො කර්මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් ප්‍රසිද්ධ භික්ෂුතෙමේ බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථය පිණිස දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්‍රසිද්ධ භික්ෂු තෙමේ බොහෝදෙනාට හිත පිණිස බොහෝදෙනාට සැප පිණිස බොහෝදෙනාට අර්ථය පිණිස දෙව්මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින් ද, සුදුසුවූ කාය කර්මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ වාක් කර්මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ මනො කර්මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙමේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝදෙනාට සැප පිණිස බොහෝ දෙනාට අර්ථය පිණිස දෙව්මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නේ වෙයි.”