අංගුත්තර නිකාය
එක නිපාතය
12. ආපායික වර්ගය
122. මොනෙය්‍ය සූත්‍රය
“මහණෙනි, මේ පිරිසිදු බැව් තුනක් වෙත්. කවර තුනක්ද? කයේ පිරිසිදු බවද වචනයේ පිරිසිදු බවද සිතේ පිරිසිදු බවද වෙත්. මහණෙනි, කයේ පිරිසිදු බව නම් කුමක්ද?
‘මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයිද සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද මහණෙනි, මේ කයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
“මහණෙනි, වචනයේ පිරිසිදු බව නම් කුමක්ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් බොරු කීමෙන් වැළකුණේ වෙයිද කේලාම් කීමෙන් වැළකුණේ වෙයිද ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද ප්‍රලාප කීමෙන් වැළකුණේ වෙයිද මහණෙනි, මේ වචනයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
“මහණෙනි, සිතේ පිරිසිදු බව නම් කුමක්ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් අභිද්‍යාව බහුලකොට නැත්තෙක් වේද, ව්‍යාපාද සිත් නැත්තෙක් වේද, මිත්‍යා දෘෂ්ටි නැත්තෙක් වෙයිද මහණෙනි, මේ සිතේ පිරිසිදු බව යයි කියනුලැබේ මහණෙනි, මේ පිරිසිදු බැව් තුන වෙති.
“මහණෙනි, මේ පිරිසිදු බැව් තුනකි. කවර තුනක්ද? කයේ පිරිසිදු බවද වචනයේ පිරිසිදු බවද සිතේ පිරිසිදු බවද වෙත්. මහණෙනි, කයේ පිරිසිදු බව නම් කුමක්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතුන් මැරීමෙන් වැළකුණේ වෙයිද සොරකම් කිරීමෙන් වැළකුණේ වේද, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ කයේ පිරිසිදු බවයයි කියනු ලැබේ
“මහණෙනි, වචනයේ පිරිසිදු බව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොරු කීමෙන් වැළකුණේ වෙයිද, කේලාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, ප්‍රලාප කීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ වචනයේ පිරිසිදු බව යයි කියනු ලැබේ.
“මහණෙනි, සිතේ පිරිසිදු බව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තමන් තුළ ඇත්තාවූ කාමච්ඡන්දය මා තුළ කාමච්ඡන්දය ඇතැයි දැනගනීද’ තමා තුළ නැත්තාවූ කාමච්ඡන්දය ‘මා තුළ කාමච්ඡන්දය නැතැයි’ දැනගනීද, යම් ආකාරයකින් නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම වේද, යම් ආකාරයකින් උපන්නාවූ කාමච්ඡන්දයන් ප්‍රහාණය වේද එයත් දැනගනීද යම් ආකාරයකින් පහවූ කාමච්ඡන්දයාගේ නැවත නිපදීමක් වේද, එයත් දැන ගනීද තමාතුළ ඇත්තාවූ ව්‍යාපාදය ‘මා තුළ ව්‍යාපාදය ඇතැයි දැනගනීද’ තමා තුළ නැත්තාවූ ව්‍යාපාදය ‘මා තුළ ව්‍යාපාදය නැතැයි’ දැනගනීද, යම් ආකාරයකින් නූපන් ව්‍යාපාදය උපදීද එයත් දැනගනීද, යම් ආකාරයකින් උපන් ව්‍යාපාදය පහවේද එයත් දැනගනීද යම් ආකාරයකින් පහවූ ව්‍යාපාදය නැවත නූපදීද, එයත් දැනගනීද, තමා තුළ ඇත්තාවූ ථිනමිද්ධය ‘මා තුළ ථීනමිද්ධය ඇතැයි’ දනීද, තමා තුළ නැත්තාවූ ථීනමිද්ධය ‘මා තුළ ථිනමිද්ධය නැතැයි’ දැනගනීද, යම් ආකාරයකින් නූපන් ථීනමිද්ධය උපදීද එයත් දැනගනීද, යම් ආකාරයකින් උපන් ථීනමිද්ධය පහවෙයිද එයත් දැනගනියිද, යම් ආකාරයකින් පහවූ ථීනමිද්ධය නැවත නූපදියිද එයත් දැනගනියිද, තමා තුළ ඇත්තාවූ උද්ධච්ච කුක්කුච්චය මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැයි දනීද’ තමා තුළ නැත්තාවූ උද්ධච්චකුක්කුච්චය ‘මා තුළ උද්ධච්චකුක්කුච්චය’ නැතැයි දැනගනීද, යම් ආකාරයකින් නූපන් උද්ධච්චකුක්කුච්චය උපදීද එයත් දැනගනීද යම් ආකාරයකින් උපන් උද්ධච්ච කුක්කුච්චය පහවෙයිද, එයත් දැනගනීද යම් ආකාරයකින් පහවූ උද්ධච්චකුක්කුච්චය නැවත නූපදියිද එයත් දැනගනියිද තමා තුළ ඇත්තාවූ විචිකිච්ඡාව ‘මා තුළ විචිකිච්ඡාව ඇතැයි ‘දැනගනීද, තමා තුළ නැත්තාවූ විචිකිච්ඡාව ‘මා තුළ විචිකිච්ඡාව නැතැයි’ දැනගනීද, යම් ආකාරයකින් නූපන් විචිකිච්ඡාව උපදීද, එයත් දැනගනීද, යම් ආකාරයකින් උපන් විචිකිච්ඡාව පහවෙයිද එයත් දැනගනීයිද, යම් ආකාරයකින් පහවූ විචිකිච්ඡාව නැවත නූපදියිද, එයත් දැනගනීද, මහණෙනි, මේ සිතේ පිරිසිදු බවයයි කියනු ලැබේ. මහණෙනි, මේ තුන් පිරිසිදු බැව්ය.
“කායික පිරිසිදු බව වාචසික පිරිසිදු බව මානසික පිරිසිදු බව යන මොහු තුන් පිරිසිදු බැව්ය. ආශ්‍රව රහිත පිරිසිදුභාවයන්ගෙන් යුත් ශුද්ධවන්තයා පාප ධර්මයන් සොධා හළ පුද්ගලයා යයි කීහු.
“මහණෙනි, යහපත් බැව් තුනකි. කවර තුනක්ද? කයේ යහපත් බවද වචනයේ යහපත් බවද සිතේ යහපත් බවද වෙත්.
මහණෙනි, කයේ යහපත් බව නම් කුමක්ද?
“(මේ ඡෙදය මේ සූත්‍රයේ 6 ඡෙදය මෙනි.)
“(මේ ඡෙදය මේ සූත්‍රයේ 7 ඡෙදය මෙනි.)
“මහණෙනි, සිතේ යහපත් බව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ සිතේ යහපත් බවයයි. කියනු ලැබේ. මහණෙනි, මේ යහපත් බැව් තුන වෙත්.
“කයේ යහපත් බව වචනයේ යහපත් බව සිතේ යහපත් බව යන මොහු යහපත් බැව් තුනය. ආශ්‍රව රහිතවූ යහපත් භාවයෙන් යුත් භික්ෂුව සියලු කෙලෙසුන් පහකළ රහත් පුද්ගලයා යයි කීහු.”
(දොළොස්වැනි අපායික වර්ගය නිමි.)