අංගුත්තර නිකාය

එක නිපාතය

13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය

123. බලිහරණ සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වනලැහැබෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනියි’ කියා ආමන්ත්‍රණය කළ සේක. එවිට භික්ෂූහු ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ.

‘මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එළඹ පසුදිනය පිණිස බතින් නිමන්ත්‍රණය කරයි. කැමැත්තාවූ භික්ෂුතෙමේ නිමන්ත්‍රණය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රියෙන් පසු පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදොර යම් තැනකද එහි පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳගනියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ කෑයුතු දෙයින්ද බුදිය යුතු දෙයින්ද සියතින් වළඳවයි ‘ඇත, ඇත’ කියා ප්‍රතික්ෂෙප කරවයි.

“ඒ භික්ෂූවට මෙසේ සිතෙයිද කෙසේද? මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ නැවතද මා මෙබඳු ප්‍රණීත කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් සියතින් වළඳවන්නේ නම් ‘ඇත, ඇත’ කියා ප්‍රතික්ෂෙප කරවන්නේ නම් යහපති කියායි. හෙතෙම ඒ පිණ්ඩපාතය තෘෂ්ණාවෙන් ඇලී මුර්ඡාවී තෘෂ්ණාවෙහි ගැලී ආදීනව නොදක්නෙක්ව නික්මීමේ ප්‍රඥාව නැත්තෙක්ව වළඳයි. හෙතෙම එහි කාම විතර්කද කල්පනා කරයි. ව්‍යාපාද විතර්කද කල්පනා කරයි. විහිංසා විතර්කද කල්පනා කරයි.

“මහණෙනි, මම මෙබඳු භික්ෂූවට දෙන ලද දානය මහත්ඵල ඇත්තේයයි නොකියමි. කුමක් හෙයින්ද? මහණෙනි, ඒ භික්ෂුව ප්‍රමාදව වාසය කරයි. (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය යෙදිය යුතුයි.)

“ඔහුට මෙසේ අදහස් නොවෙයි. කෙසේද? මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ පසුව මෙවැනි ප්‍රණීත කෑයුතු දෙයින් හෝ බුදිය යුතුදෙයින් හෝ සියතින් මා වළඳවන්නේ නම් ‘ඇත ඇත’ කියා ප්‍රතික්ෂෙප කරවන්නේ නම් යහපත්ය කියායි. හෙතෙම ආහාරය තෘෂ්ණාවෙන් නොබැඳී මූර්ඡානොවී තෘෂ්ණාවෙහි නොගිලී ආදීනව දකිමින් නික්මෙන ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. හෙතෙම එහි නෛෂ්ක්‍රම්‍ය විතර්කද කල්පනා කරයි. අව්‍යාපාද විතර්කද කල්පනා කරයි. අවිහිංසා විතර්කද කල්පනා කරයි.

“මහණෙනි, මම මෙබඳු භික්ෂුවට දෙන ලද දානය මහත්ඵල වන්නේයයි කියමි. කුමක් හෙයින්ද මහණෙනි, මේ මහණ තෙම අප්‍රමාදව වාසය කරයි”