අංගුත්තර නිකාය
එක නිපාතය
2. රථකාර වර්ගය
13. නිරාස සූත්‍රය
“මහණෙනි, ලොකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද?
‘අපෙක්ෂා රහිත පුද්ගලයාද අපෙක්ෂා සහිත පුද්ගලයාද අපෙක්ෂා පහකළ පුද්ගලයාද වෙත්.
“මහණෙනි, අපෙක්ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් චණ්ඩාල කුලයෙහි හෝ වැදි කුලයෙහි හෝ කුළුපොතු කුලයෙහි හෝ කම්කරු කුලයෙහි හෝ පරමල් ඉවතලන කුලයෙහි හෝ දිළිඳු වූ ස්වල්ප ආහාරපාන ඇති දුක් පැවතුම් ඇති යම් තැනෙක්හි දුකසේ කෑම ඇඳීම ලබයිද එබඳු තැනෙක්හි උපන්නේ වෙයිද, හෙතෙම අවලක්ෂණ වූයේ අප්‍රිය දැකුම් ඇත්තේ මිටිවූයේ බොහෝ ආබාධ ඇත්තේ කණෙක් හෝ කුණෙක් හෝ කොරෙක් හෝ පක්ෂයක් පණනැතියෙක් හෝ වූයේ ආහාර පාන වස්ත්‍ර යානා මල් ගඳ විලවුන් සෙනාසන තෙල් පහන් නොලබන්නේ වෙයිද, හෙතෙම මෙනම් ක්ෂත්‍රිය තෙමේ ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරන ලද්දේයයි අසන්නේය. එහෙත් ඔහුට මාද ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියාභිෂෙකයෙන් කවදා අභිෂෙක කරද්ද යන අපෙක්ෂාව (බලාපොරොත්තුව) ඇති නොවේ. මහණෙනි, මෙතෙම අපෙක්ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
‘මහණෙනි, අපෙක්ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි මේ ලොකයෙහි ඔටුණු පලන් ක්ෂත්‍රිය රජකුගේ අභිෂෙකයට සුදුසුවූ සුදුසු වියට පැමිණියාවූ අභිෂෙක නොකරන ලද වැඩිමහලු පුතෙක් වෙයිද හෙතෙම මෙනම් ක්ෂත්‍රිය තෙමේ ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරන ලදැයි අසන්නේ වෙයිද ඔහුට එසේ මාද ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියාභිෂෙකයෙන් කවදා අභිෂෙක කරද්දැයි සිතෙන්නේය. මහණෙනි, මේ තෙමේ අපෙක්ෂාසහිත පුද්ගලයා යයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මේ ලොකයෙහි අභිෂෙක කරන ලද්දාවූ ක්ෂත්‍රිය රජෙක් වෙයිද හෙතෙම මෙනම් ක්ෂත්‍රිය තෙමේ ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරන ලද්දේයයි අසන්නේද ඔහුට මෙසේ මාද ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියාභිෂෙකයෙන් කවදා අභිෂෙක කරන්නාහුදැයි නොසිතෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, පෙර අභිෂෙක නොකරන ලද්දහුට යම් ආශාවක් වීද ඔහුගේ ඒ ආශාව සංසිඳුනීය. මහණෙනි, මේ පුද්ගල තෙමේ පහකළ අපෙක්ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොකයෙහි ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්.
“මහණෙනි, එසේම භික්ෂූන් අතරෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද? අපෙක්ෂා රහිත පුද්ගලයාද අපෙක්ෂා සහිත පුද්ගලයාද පහකළ අපෙක්ෂා ඇති පුද්ගලයාද වෙත්.
‘මහණෙනි, අපෙක්ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයිද, පාපධර්ම ඇත්තේ වෙයිද, අපිරිසිදු කාය කර්මාදිය ඇත්තේ වෙයිද, සැක කළයුතු පැවතුම් ඇත්තේ වෙයිද, සැඟවුණු ක්‍රියා ඇත්තේ වෙයිද, ශ්‍රමණයෙකැයි අඟවන්නාවූ අශ්‍රමණයෙක් වෙයිද, බ්‍රහ්මචාරියෙකැයි අඟවන්නාවූ අබ්‍රහ්මචාරියෙක් වෙයිද, ඇතුළත කුණුවූයේ වෙයිද, රාගාදියෙන් තෙත්වූයේ වෙයිද, හටගත් රාගාදි කුණු කසල ඇත්තේද, හෙතෙමේ මෙනම් භික්ෂුතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරේයයි අසන්නේද, ඔහුට කවදා නම් මමද ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වාසය කරන්නෙම්ද යන අපෙක්ෂාව නූපදින්නේය. මහණෙනි, මෙතෙමේ අපෙක්ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, අපෙක්ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වේද, හෙතෙමේ මෙනම් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙම් දැයි අදහස් වන්නේය. මහණෙනි, මෙතෙමේ අපෙක්ෂා සහිත පුද්ගලයා යයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආශ්‍රවයන් ක්ෂය කළ රහත් පුද්ගලයෙක් වෙයිද හෙතෙමේ මෙනම් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේයයි අසන්නේය. ඔහුට මම කවදා ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමියි’ අදහස් නොවන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, රහත් නොවූ ඔහුට රහත්වීමට යම් අපෙක්ෂාවක් වීද, ඔහුගේ ඒ අපෙක්ෂාව සංසිඳුනී වෙයි. මහණෙනි, මෙතෙමේ පහවූ අපෙක්ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ භික්ෂූන් අතරෙහි ඇත්තාවූ විද්‍යමානවූ පුද්ගලයෝ තිදෙන වෙත්.”