අංගුත්තර නිකාය
එක නිපාතය
2. රථකාර වර්ගය
14. අරාජක චක්ක සූත්‍රය
“මහණෙනි, ධර්මයෙන් යුක්තවූ ධර්මයෙන් රජ කරන්නාවූ යම් සක්විති රජෙක් වේද හෙතෙම රජකු නැතිව අණසක නොපවත්නේයයි වදාළේය.
මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, ධර්මයෙන් යුත් ධර්මයෙන් රජ කරන්නාවූ සක්විති රජහුගේ රජ නම් කවරෙක්දැයි?’ කීය.
“මහණ, (දශකුශල) ධර්මයයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණ, ධර්මයෙන් යුත් ධර්මයෙන් රජ කරන්නාවූ සක්විති රජ තෙමේ දශ කුශල ධර්මය ඇසුරු කොට ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ද්වජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපතිකොට ගෙන අභ්‍යන්තර ජනයාගේ රැකවරණ පරිස්සම සලසාලයි.
“මහණ, නැවතද ධාර්මිකවූ ධර්මයෙන් රජ කරන්නාවූ සක්විති රජ තෙමේ ධර්මයම ඇසුරු කොට ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධවජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපතිකොට ගෙන රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත ක්ෂත්‍රියයන් කෙරෙහිද බලසෙනඟ කෙරෙහිද, බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහිද, නියම්ගම් ජනපද වාසීන් කෙරෙයිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද මෘග පක්ෂීන් කෙරෙහිද රැකවරණ පරිස්සම සලසාලයි.
“මහණ, ධාර්මිකවූ ධර්මයෙන් රජ කරන්නාවූ ඒ සක්විති රජ තෙමේ ධර්මයම ඇසුරු කරමින් ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපති කොට ගෙන අභ්‍යන්තර ජනයා කෙරෙහි ධාර්මික රැකවරණ පරිස්සම සලසා රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත ක්ෂත්‍රියයන් කෙරෙහි රැකවරණ පරිස්සම සලස්වා බල සෙනඟ කෙරෙහි බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහි නියම්ගම් ජනපද වාසීන් කෙරෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මෘග පක්ෂීන් කෙරෙහි රැකවරණ පරිස්සම සලස්වා ධර්මයෙන්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ පරසතුරු කිසි ප්‍රාණියකු විසින් නොවැලැක්විය හැකිවෙයි.
“මහණ, එමෙන්ම ධර්මයෙන් යුක්තවූ ධර්මරාජවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ධර්මයම (නවලොකොත්තර ධර්මයම) ඇසුරු කොට ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපති කොට ගෙන කාය කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙබඳුවූ කාය කර්ම සෙවනය කළ යුතුය. මෙබඳුවූ කාය කර්ම සෙවනය නොකළ යුතුය කියායි.
“නැවතද, මහණ, ධාර්මිකවූ ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපතිකොට ගෙන වාක් කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙවැනි වාක් කර්ම සෙවනය කළ යුතුය. මෙවැනි වාක් කර්ම සෙවනය නොකළ යුතුය යනුවෙනි
“නැවතද, මහණ, ධාර්මිකවූ ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපතිකොට ගෙන මනො කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද මෙවැනිවූ මනො කර්ම සෙවනය කළ යුතුය. මෙවැනිවූ මනොකර්ම සෙවනය නොකළ යුතුය යනුවෙනි.
“මහණ, ඒ ධාර්මිකවූ ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපති කොට ගෙන ධර්මයම ඇසුරු කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපති කොට ගෙන කාය කර්මයෙහි ධාර්මික රැකවරණ පරිස්සම සලස්වා වාක් කර්මයෙහි කාය කර්මයෙහි මනො කර්මයෙහි රැකවරණ පරිස්සම සලස්වා ධර්මයෙන්ම නිරුත්තර ධර්ම චක්‍රය පවත්වන්නේය. ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ බඹකු විසින් හෝ ලොකයෙහි කිසිවකු විසින් හෝ වැළැක්විය නොහැක්කේය.”